‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ සඳහා කොළඹට ඇදී එන ජනතාවට සියලු පහසුකම් සූදානම්

‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ සඳහා කොළඹට ඇදී එන ජනතාවට සියලු පහසුකම් සූදානම්
  • SocialShare:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පෙබරවාරි 04 සිට 11 දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත් වීමට සියලු කටයුතු සූදානම්  බව ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමිපාණන් වහන්සේ පැවසූහ.

‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව’ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද(28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ස්වාමින් වහන්සේ මේ බව පැවසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වු ගංගාරම විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ  78වන නිදහස් දිනයට සමගාමීව සර්වඥ ධාතු වන්දනා කිරීමට ලැබීම  ලාංකිකයින්ට ලැබෙන තවත් මහඟු අවස්ථාවක් බවයි. කොළඹට ඇදී එන අතිවිශාල ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට සූදානම් බවද  ස්වාමින් වහන්සේ වැඩිදුරටත් පැවසීය.

ගංගාරාම විහාරය ඉදිරිපිට තිබෙන හිස් ඉඩමේ බැතිමතුන්ට රැඳී සිටීමට ඉඩ පහසුකම් සලසා ඇති අතර, පෝළිමට එක්වන බැතිමතුන්ට දන් සැල් සහ  අනෙකුත් සංග්‍රහ ලබාදීමට සූදානම් කර තිබේ. තවද දුරබැහැර සිට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සහ  ගමන් පහසුකම් සැලසීමට රජය කටයුතු  කරන බවත්, දවසේ පැය 24 පුරාම ධාතුන් වහන්සේලා නැරඹීමට අවස්ථාව ලබා දෙන බවද කීය. බැතිමතුන් වැඩි ප්‍රමාණයකට ‘ශ්‍රී සර්වඥ ධාතු වන්දනා කිරීමට අවස්ථාව ලබා දීම අරමුණ බවද උන් වහන්සේ සඳහන් කළේය. සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා කොළඹ නගර සභාව සමග එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ධාතු වන්දනාව සඳහා පැමිණෙන විදේශීය සංචාරකියන් අපහසුතාවයට පත් නොවන පරිදි ඔවුන්ට අමතර පෝළිමක ගොස් වන්දනා කිරීමට අවස්ථාව ලබා දෙන බවද කි්‍ය.

ගංගාරාම විහාරස්ථානයට දිනකට සංචාරකයින් 900ත් 1100ත් අතර පිරිසක් පැමිණෙන බවත් ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා තිබෙන පෝළිමට අමතරව සංචාරකයින්, ගැබිණි මව්වරුන්ට , ආබාධිත ප්‍රජාව වෙනුවෙන් වන්දනාමාන කිරීම සඳහා විශේෂ ඉඩක් ලබා දෙන බවද කීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේදී 60 දශකයේදී සිදු කරන ලද කැණීම් වලින් සොයා ගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිට වැඩම කර නොමැති අතර, පසුගියදා සිදු වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදාකර දී තිබේ.

පෙබරවාරි 04 වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවීමට නියමිත අතර එදින ධාතුන් වහන්සේට සිදුකරන වතාවත් වලින් අනතුරුව පෙබරවාරි 05 වෙනිදා  සිට හුණුපිටිය ගංගාරාම විහාස්ථානයේදී සාමාන්‍ය ජනතාවට ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමි වේ.