මෙරට පළමු ජාත්‍යන්තර අක්ෂි සත්කාර දෘෂ්ටිවේදී සමුළුව ඇරඹේ

මෙරට පළමු ජාත්‍යන්තර අක්ෂි සත්කාර දෘෂ්ටිවේදී සමුළුව ඇරඹේ
  • SocialShare:

ප්‍රතිකාර මගින් වළක්වාගත හැකි අක්ෂි රෝගවලින් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා විඳින බවත්, සැමට සාධාරණ අක්ෂි සත්කාර සහතික කිරීමට රජය කැපවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර අක්ෂි සත්කාර දෘෂ්ටිවේදී සමුළුව වන “DIYATARIPPU – Eye Care 2026 : 1st International Optometric Conference in Sri Lanka” සමුළුවේ ආරම්භක සැසිය අද (25) කොළඹ මොනාක් ඉම්පීරියල් හෝටලයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මෙම සමුළුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම ජාත්‍යන්තර සමුළුව අද (25) සහ හෙට (26) යන දෙදින පුරා පැවැත්වේ.

“දේශසීමා ඉක්මවා යන දැක්ම – ගෝලීය අක්ෂි සත්කාරය ඉදිරියට ගෙන යාම” (Vision Beyond Borders – Advancing Global Eye Care) යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙයි.

අක්ෂි සෞඛ්‍යය පිළිබඳ සහයෝගීතාව, ඉගෙනීම සහ නායකත්වය වර්ධනය කිරීම සඳහා සුවිශේෂී වේදිකාවක් ලෙස මෙම සමුළුව ක්‍රියා කරන අතර, සායනික දෘෂ්ටිමිතිය සහ දෘෂ්ටි චිකිත්සාව, දෘෂ්ටිමිතික පර්යේෂණවල දියුණුව, ළමා සහ වයෝවෘද්ධ අක්ෂි සත්කාර, මහජන සෞඛ්‍ය සහ ප්‍රජා අක්ෂි සේවා, අඩු දෘෂ්ටිය සහ පුනරුත්ථාපනය, දෘෂ්ටි විද්‍යාවේ නව තාක්ෂණ, අන්තර් විෂය අක්ෂි සත්කාර ආකෘති, දෘෂ්ටිමිතික අධ්‍යාපනය සහ වෘත්තීයභාවය ඇතුළු ක්ෂේත්‍ර රැසක් මෙහිදී ආවරණය කෙරේ.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම ජාත්‍යන්තර සමුළුව අක්ෂි සෞඛ්‍යය සඳහා කැප වූ ගෝලීය වේදිකාවක් නිර්මාණය කිරීමට වැදගත් දායකත්වයක් සපයන බවයි. එමෙන්ම මෙවැනි සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සංවිධායකයින්ට සිය ස්තූතිය ද පළ කළේය.