දැනට පවතින වර්ෂාපතනය අනුව මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
ඒ අනුව වික්ටෝරියා , රංදෙිණිගල , රංටැඹේ යන ජලාශ මේ වනවිට වාන් දැමීම ආරම්භ වී ඇති අතර වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06 ක් සෙන්ටිමීටර 70 බැගින් ද රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු 02 ක් මීටර් 2.5 සහ මීටරයක් බැගින් ද රන්ටැබේ ජලාශයේ වාන් දොරටු 02 ක් මීටර 2 සහ මීටර 2.5 බැගින් අද (18) පෙරවරු 10 වනවිට විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
තවද රංටැඹේ ජලාශයෙන් මිණීපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනය අනුව වැඩිවිය හැකි බවත් එම මහවැලි අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.එසේම ලොග්ගල්ඔය , දියබානාඔය , හෑපොලඔය හා උල්හිටිය ජලාශවල වාන් මගින් පිටවන ජලධාරිතාවය සහ බදුළු ඔයේ ජලයද සෘජුවම මහවැලි ගඟට එකත් වන බැවින් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යන බවත් මහවැලි අධිකාරිය දැනුම් දෙයි.
තවද කලාවැව ද්‍රෝණියට අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති අතර බෝවතැන්න , ඉබ්බන්කටුව , මොරගහකන්ද හා කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතී. එම පෝෂක ප්‍රදේශවලට ඇතිවන වර්ෂාපතනය සමග එම ජලාශයන්ද වාන් දැමිය හැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැැනුම් දෙයි.මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ ඇති බැවින් එම ජලාශයද ඉදිරියේදී වාන් දැමීම සිදු විය හැකියි.
වාන් ජල ප්‍රවාහයන් වැඩි විය හැකි බැවින් ජලාශ වාන් දැමීම නැරඹීම හෝ විවධ කටයුතු සඳහා ජලාශ ප්‍රදේශවලට ළගාවීමෙන් වළකින ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.


