ප්‍රශ්නගත 'ඔන්ඩැන්සෙට්‍රෝන්' ඖෂධය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක බව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම මහතා පවසයි.
ඊයේ(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඔන්ඩෙස්ටරෝන් අයි.වී. නික්ෂේපණ ඖෂධය නිසා මරණ දෙකක් සිදු වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කිරීම සම්බන්ධයෙන් පැහැදිළි කරමින් විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම මහතා පැවසුවේ , මෙම රෝගීන් දෙදෙනා මිය යාමට හේතුව මෙම ඖෂධයද, නැත්නම් ඒ සඳහා වෙනත් හේතු බලපෑවේද යන්න පිළිබඳ 100%ක් තහවුරු කරගෙන නැති බවයි. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් සිදු කරන බවත් තවත් පරීක්ෂණයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් සිදු කෙරෙන බවද කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ජනතාව නොමඟ යවන සුළු ප්‍රචාර සිදු කරන බවත්, මාධ්‍ය සදාචාරයට පටහැනිව ඇතැම් තොරතුරු විකෘති කර වාර්තා කරන බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඔන්ඩෙස්ටරෝන් අයි.වී. නික්ෂේපණ ඖෂධය පසුගිය 12 වැනිදා භාවිතයෙන් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබූ බවත්, එහෙත් අදාළ මරණ සිදු වූයේ 12 සහ 14 දිනවලදී බවද සඳහන් කළේය.
මෙම මරණ, මෙම ඖෂධය හා සම්බන්ධද යන සැකය ඇති වීමත් සමඟම මෙම ඖෂධය සම්පූර්ණයෙන්ම භාවිතයෙන් අත් හිටුවීමට තීරණය කළ බවත්, ඒ අනුව මෙම ඖෂධය අයත් සියලුම එන්නත් කාණ්ඩ භාවිතයෙන් අත් හිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අදාළ කමිටුව මගින් තීරණය කල බවද අමාත්‍යවරයා කීය.
මෙම ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන අනෙකුත් එන්නත්ද , මේ වන විට තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බවත්, ඒ අනුව එන්නත් 10ක් අත්හිටුවීමට කටයුතු කර තිබේ.
ඒ අනුව පරීක්ෂණ අවසන් වූ සැනින් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබා දෙන බවද ඒ මහතා පැවසීය.


