මහවැලි කලාපවල ගොවීන්ට කුඹුරු වගාව සඳහා අඛණ්ඩව ජලය සැපයීමට විශේෂ අවධානය

මහවැලි කලාපවල ගොවීන්ට කුඹුරු වගාව සඳහා අඛණ්ඩව ජලය සැපයීමට විශේෂ අවධානය
  • SocialShare:

කුඹුරු වගා සඳහා ගොවීන්ට අඛණ්ඩව ජලය සැපයීමට අවශ්‍ය වන බැවින් මහවැලි කලාප වල ගොවීන්ට කුඹුරු වගාව සඳහා අඛණ්ඩව ජලය සැපයීමට විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත හේරත් මහතා පවසයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසුවේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් කලාපවල කුඹුරු අක්කර 14,500ක් සහ වෙනත් ක්ෂේත්‍ර භෝග එනම් එළවළු පලතුරු ආදිය හෙක්ටයාර 1500ක් පමණ විනාශ වී ඇතැයිද වැඩි වශයෙන් ආපදාවට ලක්වී ඇත්තේ මහවැලි එල්, එච්, සී සහ ඩී කලාප බවද අවධාරණය කළේය.

ගොවීන්ට වගා කටයුතු ඇරඹීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලෙසත් රජයෙන් ලබාදෙන දිරි දීමනාව ලබාගැනීමට අවශ්‍ය අයදුම්පත්‍ර ගොවීන් ලවා පුරවා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබාදීමටද අවශ්‍ය උපදෙස් සහ පහසුකම් ලබාදෙන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත හේරත් මහතා සඳහන් කළේය.

කුඹුරු පද්ධති වලට හා වගා වලට අවශ්‍ය වාරි පහසුකම් හා මාර්ග පහසුකම් සැපයීමට අවශ්‍ය වන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදීමටද උපදෙස් ලබාදී ඇතැයි වැඩිදුරටත් පැවසුවේය.

දැනට කැඩී බිඳී ඇති තැන් අලුත්වැඩියා කරමින් පවතින බවද වාරි පද්ධති ද මෙම දිනවල සකස් කරමින් පවතින බවද පැවසුවේය.

හැකි ඉක්මණින් ගොවිජන සේවා නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදී තමන්ගේ වගාවන් වලට එළඹෙන ලෙස ගොවි මහතුන්ගෙන් ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

සත්ත්ව හානි ලෙස ගවයින් 3,000ක්, කුකුළන් 40,000ක්, එලුවන් 500ක් පමණ කලාප 10හිම ආපදාව හේතුවෙන් විනාශයට පත්වී ඇතැයිද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන දිරි දීමනාව ලබාගැනීම සඳහා ගොවීන්ට ආකෘතිපත්‍ර පිරවීමට උපදෙස් හා පහසුකම් මහවැලි අධිකාරියේ නිලධාරීන් සලසන බවද පැවසුවේය.

මේ වන විට සියලුම නිලධාරීන් ක්ෂේත්‍ර කටයුතු වල යෙදී සිටින බවද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.