තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහාතා සහ ජාතික යොවුන් සේනාංකයේ නිලධාරීන් අතර හමුවක් ඊයේ (16) පැවැත්විණි.
මෙහි දී ජාතික යොවුන් සේනාංකයේ මෙතෙක් සිදු කළ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා වුනු අතර යොවුන් සේනාංකය සඳහා බඳවා ගත් නව උපදේශකවරුන් 26 දෙනෙක් සඳහා පත් වීම් ලිපි ප්‍රදානය කිරීම ද සිදු කෙරුණි.
මෙම අවස්ථාව ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි ක්ෂේත්‍රයන් මෙරට තරුණ තරුණියන්ගේ පෞර්ෂ සංවර්ධනයට සහ ජාත්‍යන්තරයට ගැලපෙන තරුණයෙක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඉවහල් වන බවයි.
රටේ වගකීම් භාරගැනීමට සිටින තරුණ පරපුරට හොඳ, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන වගකීම ජාතික යොවුන් සේනාංකය සතුව පවතිනව බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
තාරුණ්‍යයේ නායකත්වය, පෞර්ෂ සංවර්ධනය, විනය ගොඩනැගීම යොවුන් සේනාංකයේ මූලික කාර්‍යභාරය බවත්, වසර 4ක් තුළ දශක 4කට මේ රට භාරගන්න සිටින නවීන තරුණ තරුණියන් ගොඩනගන වගකීම ජාතික තරුණ සේවා සභාවට හා ජාතික යොවුන් සේනාංකය යන ආයතන දෙකටම පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එම ආයතන දෙක තුළම සාධනීය වෙනස්කම් කරමින් ඉදිරියට යෑමට සිදු වන බවත්, පළමුව රටේ තරුණයා වෙනස් කිරීමට පෙර අපිට වෙනස් වීමට සිදු වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ සභාපති තරිඳු මුහන්දිරම්, ජාතික එවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අංජන සම්පත් අමරසිංහ ඇතුළු නිලධාරීන් එක් වූහ.


