අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක
  • SocialShare:

ශ්‍රී ලංකා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ (State Printing Corporation - SPC) පානළුව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන කර්මාන්ත ශාලාවේ නිල නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (16)  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා එක්විය.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන මුද්‍රණ ආයතනයක් වන මෙම සංස්ථාව, පාසල් පෙළපොත් මුද්‍රණය, අමාත්‍යාංශ සහ විශ්වවිද්‍යාල සහතික පත්‍ර මුද්‍රණය වැනි විශේෂිත මුද්‍රණ කටයුතු සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ආයතනයකි.

ආයතනික ප්‍රගති සමාලෝචනය, නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය, ලබන වසර සඳහා උපාය මාර්ගික සැලසුම්කරණය, සේවක සුබසාධනය හා සංවර්ධනය පිළිබඳ අදහස් ලබා ගැනීම මෙම නිල නිරීක්ෂණ චාරිකාවේ මූලික අරමුණු විය.

නිරීක්ෂණ චාරිකාවේදී කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා සේවකයින් සමග සුහද සංවාදයකද නිරත විය.

සේවකයින් ඇමතු නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූවේ, "මීළඟ වසර වන විට සම්පත්වල උපරිම දායකත්වය අත්පත් කරගෙන සංස්ථාවක් ලෙස වපසරිය තව තවත් පුළුල් කර ගනිමින් සේවක තෘප්තියද ඉහළ නැංවීම" සිය ඒකායන බලාපොරොත්තුව බවයි.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කර සිටියේ "පුළුල් වපසරියක් සහිත සංස්ථාවක් බවට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පත් කර රටට මෙන්ම සේවකයින්ටද ප්‍රතිලාභ ලබා දීම" සිය පරමාර්ථය බවයි.

මෙම චාරිකාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වය හමුවී සාකච්ඡාවකද නිරත වූ අතර එහිදී දැනට පවතින ප්‍රගතිය මෙන්ම ඉදිරි වර්ෂයේ අභිමතාර්ථ ජය ගැනීම සඳහා වන නව උපාය මාර්ගික සැලසුම් පිළිබඳ අවධාරණය කළේ ය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ගරු සභාපතිතුමන්, ඉහළ කළමනාකාරිත්වය ඇතුළු සේවක මණ්ඩලයේ නිලධාරීන්ද සහභාගී වී සිටියහ.