යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපිත අති නවීන කැත් රසායනාගාර ඒකකය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපිත  අති නවීන කැත් රසායනාගාර ඒකකය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
  • SocialShare:

උතුරු පළාතේ ප්‍රධානතම හා එකම ශික්ෂණ රෝහල වන යාපනය ශික්ෂණ රෝහලේ නවීන AI තාක්ෂණයෙන්ද සමන්විත අති නවීන කැතීටකරණ රසායනාගාර ඒකකය (Cath Lab) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ජනතා අයිතියට එක් කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 300ක වියදමින් ස්ථාපිත කළ මෙම නවීන කැතීටකරණ රසායනාගාර ඒකකය  හෘද රෝග විනිශ්චය හා ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කරමින් ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක හා ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කර ඇති විශේෂ ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි.

මෙම නව පහසුකම හරහා යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල වෙසෙන ලක්ෂ 11කට අධික ජනතාවට හෘද රෝග සම්බන්ධ විශේෂිත ප්‍රතිකාර සේවා තම පළාත තුළම ලබාගැනීමේ අවස්ථාව හිමි වේ.

එමෙන්ම අනුරාධපුර, බදුල්ල, ත්‍රිකුනාමලය හා අවට  දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවටද  ප්‍රතිකාර සේවාවන් මෙම ඒකකය මගින් සපයනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිරියේ දී තවත් ප්‍රධාන රෝහල් ත්‍රිත්වයක  මෙවැනි අති නවීන තාක්ෂණයෙන් යුත් කැත් රසායනාගාර ඒකක ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

කැතීටකරණ රසායනාගාරය හෘදය හා රුධිර නාල පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා නිර්මාණය කරන ලද අති නවීන වෛද්‍ය පහසුකමකි. මෙහිදී කිරීටක ධමනි ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂණ, ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිකාර, ස්ටෙන්ට් තැන්පත් කිරීම, හෘද කපාට ආශ්‍රිත මැදිහත්වීම් මෙන්ම හෘද රිද්ම අසාමාන්‍යතා සඳහා විශේෂ පරීක්ෂණ හා ප්‍රතිකාර ඇතුළු ජීවිතාරක්ෂක සේවා රැසක් සිදු කෙරේ.

මෙම නවීන Cath Lab පහසුකම මගින් විවෘත හෘද ශල්‍යකර්මවල අවශ්‍යතාව අවම කරමින් රෝගීන්ට වේගවත්, ආරක්ෂිත සහ අවම ශල්‍ය මැදිහත්වීමක් සහිත ප්‍රතිකාර ලබාදීමට හැකිවීම විශේෂත්වයකි.

එම අවස්ථාවෙන් අනතුරුව අමාත්‍යවරයා යාපනය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකකය, නේවාසික වාට්ටු, කෞතුකාගාරය, රසායනාගාර, CT ස්කෑන් ඒකකය සහ සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රෝහලේ ප්‍රධාන අංශ හා ඒකක  රැසක් නිරීක්ෂණය කළ අතර, රෝගීන්ගේ සුවදුක් විමසා බැලීමටද කටයුතු  කරන ලදී.

එකෝ කාඩියෝ ග්‍රෑම් පරීක්ෂණ සදහා භාවිතා කරනු ලබන රුපියල් මිලියන තිහකට ආසන්න වටිනාකමකින් යුත් එකෝ යන්ත්‍රයක්   සහ   ප්‍රතිකාර සේවාවන් සදහා භාවිතා කරනු ලබන අති නවීන වෛද්‍ය උපකරණ මෙන්ම තවත් රෝහල් උපකරණ තොගයක්ද අමාත්‍යවරයා විසින් යාපනය ශික්ෂණ  රෝහලට මෙහි දී භාර  දීමට කටයුතු කරනු  ලැබීය. Sucker, Multi Monitor, Syringe Pump,Infusion Pump ඇතුළු වෛද්‍ය උපකරණ හා අනෙකුත් රෝහල් උපකරණ උපකරණ  මෙන්ම රෝද පුටු ද  එම භාණ්ඩ තොගයට ඇතුළත් විය.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහල් පරිපාලනය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමඟ විශේෂ කරුණු විමසමින් දීර්ඝ  සාකච්ඡාවක ද නිරතත විය.

එහිදී අදහස් දක්වමින් සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා යාපනය ශික්ෂණ රෝහල මගින්  උතුරු පළාතේ වෙසෙන ජනතාවට මෙන්ම අවට  දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවටද ප්‍රශස්ත සේවාවක් ලබාදෙන රෝහලක් බව සඳහන් කර සිටියේය.

රෝහලට පැමිණෙන සෑම රෝගියෙකුටම අවශ්‍ය ප්‍රතිකාර හා සත්කාර සේවා නිසි පරිදි ලබාදී ඔවුන් සුවපත් කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන සියලුම වෘත්තිකයන්ගේ වගකීමක් බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා යාපනය ශික්ෂණ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලය සහයෝගයෙන් එම වගකීම නිසි පරිදි ඉටු කරන බව සඳහන් කර සිටියේය.

යාපනය ශික්ෂණ රෝහලට  තවදුරටත් අවශ්‍යවන සෞඛ්‍ය  කාර්ය මණ්ඩල  ඉදිරියේදී  කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා පවතින වත්මන් ගැටළුද  නිරාකරණය කිරීමටද  අවශ්‍ය පියවර ගන්නා බවද මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම යාපනය ශික්ෂණ රෝහලේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් දැනටමත් දියත්කර ඇතිබවද  අමාත්‍යවරයා වැඩිදුරටත්  අවධාරණය  කළේය.

සෞඛ්‍යා ජනමාධ්‍ය ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ අනිල් ජාසිංහ මහතා සහ යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති යන මහත්වරුන්  ද මෙහිදී අදහස් දැක්වූහ.

මෙම  අවස්තාවට  ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය එස් ශ්‍රීභවන්තරාජා, කරුණානන්දන් ඉලන්කුමරන් ,සෞඛ්‍යා හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ, යන මහත්වරුන්  සහ යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්, මෙන්ම රෝහලේ  විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය  මණ්ඩලය සහ රෝහල් සංවර්ධන  කමිටු සාමාජිකයින් ඇතුළු  විශාල පිරිසක් ද එක්ව සිටියහ.