සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි සැමරුම විහාර මහාදේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී

සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපි සැමරුම විහාර මහාදේවි උද්‍යාන රණවිරු ස්මාරකය අභියසදී
  • SocialShare:

වාර්ෂික සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය  සහ පොපි මල් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී නොවැම්බර්(16) පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇතැයි  ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති ලුතින් කර්නල් අජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වාර්ෂික සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය  සහ පොපි මල් සැමරුම් දිනය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා අද(03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් සභාපතිවරයා මේ බව පැවසීය.

පළමුවන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම පසුගිය තිස් වසරක් පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී ජීවිතය පූජා කළ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් මෙම වසරේ පොපි සැමරුම නොවැම්බර් මස 16වන දින පෙරවරුවේ විහාර මහා දේවී උද්‍යානයේ ලෝක යුද විරු අනුස්මරණ ස්මාරකය අබියසදී මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය. සෑම වසරකම නොවැම්බර් මස 11 වෙනි දා ලෝකයේ බොහෝ රටවල් පොපි සැමරුම සිදුකරන අතර, ශ්‍රී ලංකාවේ ද නොවැම්බර් මස 11ට ආසන්න ඉරු දිනක මෙම සැමරුම පවත්වයි.

පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘභූමියේ සුරක්ෂිතතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ පොපි සැමරුම වර්ෂ 1944දී ආරම්භ කොට ඇති අතර මෙවර පොපි මල් සැමරුම සිදුකරන්නේ 102 වන වරටයි. පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ සුභසාධනය සඳහා වෙන් කෙරේ.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ උප සභාපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ