ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත. මෙවර “ආදරෙන් සුරකින්න අපිට ලොව දිනන්නට“ තේමාව යටතේ ලෝක ළමා දිනය සැමරෙන අතර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වනුයේ “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” යන්නයි.
ළමුන් යනු රටක අනාගතයයි. වැඩිහිටියන් යනු සිය අත්දැකීම් සමුදාය තුළින් ජීවිතයෙහි හරය සකස් කරගැනීමට උරදෙන රටක පදනම වැනියි.
කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ජාතික ළමා දින සැමරුම් උත්සවය පැවැත්වේ.
වැඩිහිටි දින සැමරුම් උත්සවය සහ ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය එළි දැක්වීම අද (01) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ සහභාගිත්වයෙන් උදේ 9.30ට සුහුරුපායේදී පැවැත්වේ.
ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මකවේ.
රටෙහි පදනමට ශක්තියක් වෙමින් සිය දිවියේ සැඳෑ සමය ගෙවන වැඩිහිටි ප්‍රජාව ආදරයෙන් රැකබලා ගනිමින් හෙට ලොව සුවඳවත්ව පිබිදෙන්න බලාසිටින පුංචි මල් කැකුළු ආදරයෙන් සහ නිසි මගපෙන්වීමෙන් සුරකිමු.


