බදුල්ල ශික්ෂණ රෝහලේ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා කරුණු සොයා බලයි

බදුල්ල ශික්ෂණ රෝහලේ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා කරුණු සොයා බලයි
  • SocialShare:

ඌව පළාතේ මිලියන 1.5 කට අධික ජනතාවකට සහ අවට ප්‍රදේශ රැසක ජනතාවට තෘතීයික මට්ටමේ විශේෂඥ  සත්කාර ලබාදෙමින් රෝගී කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක් සපයන බදුල්ල ශික්ෂණ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාර සේවාවන්, ඉදිරි සංවර්ධන සැලසුම් සහ ‌භෞතික හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ කරුණු සොයා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා කටයුතු කරන ලදි.

බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හිමාලි විඡේගුණවර්ධන මහත්මිය ඇතුළු රෝහලේ පාලන අධිකාරිය, ඌව පළාත් පරිපාලන හා දේශපාලන නායකත්වයන් සමඟ මෙම විශේෂ කරුණු සොයාබැලීමේ සාකච්ඡාව බණ්ඩාරවෙල මුලික රෝහලේ පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හිමාලි විඡේගුණසේකර මහත්මිය සඳහන් කරන ලද්දේ අක්කර 08 ක භූමි ප්‍රදේශයක පිහිටා ඇති බදුල්ල ශික්ෂණ රෝහල සෞඛ්‍ය සේවා විෂයයන් රැසකට අදාළව පුළුල් පරාසයක විශේෂිත සේවාවන් සපයන බවත්, සංස්කෘතික වශයෙන් විවිධ වූ ප්‍රජාවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමටත්, ශක්තිමත් ඒකාබද්ධ සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමටත් කටයුතු කරන බවයි.

2023 වසරේ ශික්ෂණ රෝහලක් බවට පත්ව රෝගී ඇඳන් 1500 ක්, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය හෙඳ ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල 2400 ක් සහිතව වර්තමානයේ සෞඛ්‍ය සේවා සපයන රෝහලේ බාහිර රෝගී අංශයට දිනකට රෝගීන් 1000 ක් පමණ දෙනා පැමිණෙන බවත්, සායන සඳහා දිනකට රෝගීන් 1500 ක් පමණ සහ දිනකට නේවාසික රෝගීන් 1000 ක් පමණ වන බව ද පෙන්වා දුන් අතර, බදුල්ල ශික්ෂණ රෝහල වාට්ටු සහ ඒකක 45 කින් යුක්ත වන බව ද අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන ලදි.

මෙම සාකච්ඡාවේ දී බදුල්ල ශික්ෂණ රෝහලේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම (Annual Action Plan) - 2026 පිළිබඳවත්, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අළුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සහිතව ඉදි‍වෙන මහාචාර්ය ඒකක සහිත දස මහල් ‍ගොඩනැගිල්ලේ  ඉදිකිරීම් කටයුතු සහ එහි ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකක පිළිබඳවත්, දැනට රෝහලේ ක්‍රියාත්මක සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳවත්, ප්‍රසම්පාදන කටයුතු, මානව සම්පත් සංවර්ධනය, පුහුණු වැඩසටහන්, හදිසි ප්‍රතිකාර සේවාවන්, දැනට ක්‍රියාත්මක  සායන, වෛද්‍ය උපකරණ සහ අවශ්‍යතා, ඖෂධ, ඩිජිටල්කරණ කටයුතු මෙන්ම රෝහල සතු ඉඩම් නැවත අත්පත් කර ගැනීමේ කටයුතුවල වත්මන් තත්ත්වය ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙන්ම දැනට පවතින ප්‍රධාන ගැටළු කිහිපයක් පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

වත්මන් රෝහල් සැලැස්ම පිළිබඳව ද රෝහල් අධ්‍යක්ෂවරිය මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරිමට කටයුතු කරන ලදි.

ඉදිරි කාල වකවානුව තුළ බදුල්ල ශික්ෂණ රෝහල නවීනත ම තාක්ෂණික ක්‍රමවේදයන් හී දියුණුවක් සහිතව රෝගී ආරක්ෂණ මුලපිරීම්, පුළුල් පරාසයක ඉහළ ගුණාත්මක විශේෂිත සෞඛ්‍ය සේවාවන් සැපයීම සිදු කරනු ලබන තෘතීයික සත්කාර සපයන රෝහලක් ලෙස වඩාත් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් බදුල්ල ශික්ෂණ රෝහල පිළිබඳව මෙම කරුණු සොයා බැලීමට කටයුතු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පෙන්වා දෙන ලදි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මෙන් ම අවට මොණරාගල, මහියංගනය, නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල ජනතාවට ද විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයනු ලබන බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව අවධානය යොමු කරන බවත්, දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීමට ද පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. රෝහලට අවශ්‍ය මානව සම්පත සහ ‌භෞතික සම්පත් ද ලබාදෙමින් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයනු ලබන නවීන තාක්ෂණික පහසුකම් වලින් යුත් රෝගී සත්කාර සපයනු ලබන රෝහලක් ලෙස ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිමට අවධානය යොමු කරන බව ද මෙහිදී පෙන්වා දෙන ලදි.

මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න,  ඌව පළාත් ආණ්ඩුකාර නීතීඥ ජේ.එම්.කපිල ජයසේකර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ඌව පළාතේ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල, ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එච්.එම් ජීවන්ත හේරත්, ඌව පළාත් සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඡේ.සී.එම් තෙන්නකෝන්, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්.ටී.කේ අත්තනායක යන මහත්ම මහත්මින් ඇතුළුව බදුල්ල ශික්ෂණ රෝහලේ පාලන අධිකාරිය නියෝජනය කරමින් නිලධාරින් මෙන්ම ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.