ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය ජනතා අයිතියට පත් කෙරේ

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය ජනතා අයිතියට පත් කෙරේ
  • SocialShare:

මෙරට ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස මෙන් ම ආරක්ෂිත හා අඩුම වියදමකින් සේවා සපයන ස්ථානයක් බවට ශ්‍රී ලංකා තැපැල් සේවාව පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ඉදිරි දැක්ම කරගත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කෙරිණි.

පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මුද්දර උප කවුළුව විවෘත කිරීම, උප කාර්යාලය මගින් නිකුත් කරන ලද පුද්ගලකාරක මුද්දරය පිරිනැමීම සහ ප්‍රථම ගණුදෙණුව සිදු කිරීම ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සුරතින් සිදු විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී කියා සිටියේ වසර 228 පමණ ඉතිහාසයක් සහිත මෙරට තැපැල් සේවාව සැලසුම් සහගතව සංවර්ධනය කරන බවයි.

ලංකාවේ ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස මෙන් ම ආරක්ෂිත හා අඩුම වියදමකින් සේවා සපයන ස්ථානයක් බවට ශ්‍රි ලංකා තැපැල් සේවාව පත් කරන බවත් ඊට තැපැල් කාර්යාල 4000 කින් සහ 22,000 පමණ  වන තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය දායකත්වය ලබා දිය යුතු බව ද පැවසී ය.

එමෙන්ම දැනට භාණ්ඩාගාරයෙන් යැපෙන තැපෑල නවීන තාක්ෂණික සේවාවන්, නව මුහුණුවරක් ද සමගින් ලාභ ලබන ආයතනයක් මෙන්ම  ජනතාවට එන්න හිතෙන තැනක් බවට පත් කරන බව ද පැවසී ය.

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා කියා සිටියේ රජය රටේ ජනතාවට පොදු පහසුකම් සපයන සියළු මධ්‍යස්ථාන උපරිම පොදු  පහසුකම් සහිතව සංවර්ධනයට පියවර ගන්නා බවයි.

අරමුණ පැහැදිලි කරමින් තැපැල්පති රුවන් සත්කුමාර මහතා කියා සිටියේ රජය තැපැල් සේවාවේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 1300 ක් වෙන් කර ඇති බවයි. ඒ අනුව වසර ගණනාවක් ඉල්ලීම් සිදු කළ නව ගොඩනැගිලි සහ වාහන අවශ්‍යතා සපුරා ගත හැකි වනු ඇති බවත්, තැපැල් සේවාවේ ඉදිරි ඉලක්ක ජය ගැනීමට කටයුතු කරමින් මෙම තැපැල් කාර්යාලය හරහා ජනතාවට අත්‍යාවශ්‍ය නව සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද පැවසී ය.

2017 වර්ෂයේ දී “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ පොළොන්නරුව තැපැල් සංකීර්ණයේ  ඉදිකිරීම් ආරම්භ කරන ලද නමුත් 2019 වර්ෂය අවසානය වන විට ඉදිකර ගැනීමට හැකි ව ඇත්තේ මෙම අළුතින් ඉදි කළ තැපැල් කාර්යාල ගොඩනැගිල්ලට පිටුපසින් පිහිටා ඇති පරිපාලන සංකීර්ණය පමණි.

ඒ අනුව 2024 වර්ෂයේ දී  ඉදිරිපස තිබූ පැරණි අබලන් ගොඩනැගිල්ල කඩා ඉවත් කර රුපියල් මිලියන 69 ක් වියදමෙන් ගොඩනැගිලි දෙපාර්තමේන්තුව මගින් පොළොන්නරුව නව තැපැල් කාර්යාලය සඳහා මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත.

පොළොන්නරුව ප්‍රදේශයේ තැපැල් සේවාව තැපැල් කාර්යාල 12 කින් හා උප තැපැල් කාර්යාල 91 කින් සමන්විත වේ.

මෙම අවස්ථාවට නිවාස හා  නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්,  පොළොන්නරුව මහ නගර සභාවේ සභාපති ලලිත් තිස්ස කෝරලගේ,  පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එන්.ආර්.පි බණ්ඩාර, බී.එම්.එස් රත්නසිරි,  තැපැල්පති රුවන් සත්කුමාර,  නියෝජ්‍ය තැපැල්පති (උතුරු මැද)  සංජීව ප්‍රනාන්දු යන මහත්වරුන් මෙන්ම නව තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.