ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා ආයෝජන දිරිගැන්විය යුතුයි - සෞඛ්‍ය ඇමති

 ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා ආයෝජන දිරිගැන්විය යුතුයි - සෞඛ්‍ය ඇමති
  • SocialShare:

ජනතාව කේන්ද්‍ර කරගත් ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් සදහා ආයෝජන  දිරිමත් කළයුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (College of General Practitioners of Sri Lanka - CGPS) 50 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය පසුගිය දා කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත් වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම  අදහස් ප්‍රකාශ කරන ලදී.

මෙවර සැසිවාරයේ තේමාව වුයේ පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගනිමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම. (Transforming Primary Care: General Practitioners at the Heart of the Community) යන්නයි.

ශ්‍රී ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ 50 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය රට පුරා සහ ඉන් ඔබ්බට සිටින පවුලේ වෛද්‍යවරුන්, විශේෂඥයින් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර දැනුම හුවමාරුව, වෘත්තීය සංවර්ධනය සහ සහයෝගීතාවය සඳහා සුවිශේෂී වේදිකාවක් සපයනු ලැබීය.

ඉතා කාලෝචිත තේමාවක් යටතේ මෙවර සැසිවාරය පැවැත්වෙන බව මෙහි දී ‌පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රාථමික සත්කාර සේවා මහජන සෞඛ්‍යයේ අත්තිවාරම බවත්, පවුලේ වෛද්‍යවරයා යනු, අපගේ පවුලේ සාමාජිකයන් හොඳින් හඳුනන, අපගේ ප්‍රජාවන් හොඳින් ම තේරුම් ගන්නා සහ රෝගවලට එරෙහිව පළමු ආරක්ෂක රේඛාව වන බව ද පැවසී ය. සෞඛ්‍ය ප්‍රවර්ධනයේ පෙරමුණ ලෙස ක්‍රියා කරමින් රෝග විනිශ්චය කිරීම, උපදෙස් දීම, සත්කාර සම්බන්ධීකරණය කිරීම ආදී කටයුතු ද ඔවුන් ඉහළින් ම  සිදු කරන බව ද පැවසී ය.

ජනතාව කේන්ද්‍ර කරගත්, ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් සඳහා අප ආයෝජනය දිරිමත් කළ යුතු බවත්, එහි දී පවුලේ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ලෙස පමණක් නොව, ප්‍රජා නායකයින්, අධ්‍යාපනඥයින් සහ රෝගී උපදේශකයින් ලෙස ද සේවය කරනු දැකීම අප කැමැත්ත යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස, අප කළ යුත්තේ ප්‍රාථමික සෞඛ්‍ය, මහජන සෞඛ්‍ය සේවා සමඟ වඩාත් පුළුල් ලෙස ඒකාබද්ධ කිරීම, වඩාත් පුළුල් හා අඛණ්ඩ සත්කාර ලබාදීමේ හැකියාව වැඩි දියුණු කරන තාක්ෂණය, පුහුණුව සහ සහායක පද්ධති සමඟ සාමාන්‍ය වෘත්තිකයන් සන්නද්ධ කිරීම එහි දී ප්‍රමුඛ වන බව ද අමාත්‍යවරයා පැවසී ය.එමෙන්ම  වෛද්‍යවරුන්, විවිධ විශේෂඥයින්, හෙදියන්, ඖෂධවේදීන් සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින් අතර බහුවිධ සහයෝගීතාව වර්ධනය කිරීම මෙන් ම වෛද්‍ය අධ්‍යාපනය සහ පශ්චාත් උපාධි පුහුණුව ශක්තිමත් කිරීම අතිශය වැදගත් බව ද මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

බෝ නොවන රෝග, මානසික සෞඛ්‍ය ගැටළු සහ වයස්ගත ජනගහනයේ  බර ද අප විසින් විසඳා ගත යුතු බව ද, මෙහි දී සදහන් කළ අමාත්‍යවරයා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය, දිගු කලක් අධ්‍යයන හා වෘත්තීය විශිෂ්ටත්වයේ පහනක් ලෙස පෙනී සිට ඇති බවත්, අඛණ්ඩ අධ්‍යාපනය, පර්යේෂණ සහ ප්‍රජා සම්බන්ධතා මෙරට  සෞඛ්‍ය සේවා සංවර්ධනයට අත්‍යවශ්‍ය වන බව ද පැවසී ය.

සෞඛ්‍ය සේවා සැපයීමේ කේන්ද්‍රයේ පවුලේ වෛද්‍යවරුන් තබන මුලපිරීම් සඳහා සහාය දැක්වීමටත්, අදහස්, නවෝත්පාදන සහ උපදේශනය තුළ දිරිමත් කිරීමට තමා  කැපවී සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා "ශක්තිමත් ප්‍රාථමික සත්කාර සේවා  වඩා හොඳ ප්‍රතිඵල, අඩු පිරිවැය සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන්ට මඟ පාදයි" යන යථාර්ථය අපගේ ප්‍රතිපත්ති මගින් පිළිබිඹු කළ යුතු යැයි තමන් විශ්වාස කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

මෙවර සැසිවාරයේ දී ප්‍රධාන දේශන, විශේෂඥ මණ්ඩල සාකච්ඡා, පර්යේෂණ ඉදිරිපත් කිරීම් සහ අන්තර්ක්‍රියාකාරී වැඩමුළු ඇතුළත් ආකර්ෂණීය වැඩසටහනක් ඇතුළත් වු අතර, මෙම අවස්ථාව වෛද්‍ය විද්‍යාවේ නවතම දියුණුව, සාක්ෂි මත පදනම් වූ පිළිවෙත් සහ රෝගී සත්කාර සඳහා නව්‍ය ප්‍රවේශයන් ප්‍රදර්ශනය කරනු ලැබී ය. තව ද නිදන්ගත රෝග කළමනාකරණය සහ වැළැක්වීමේ සෞඛ්‍ය සේවා සිට මානසික සෞඛ්‍ය සහ අති නවීන වෛද්‍ය තාක්ෂණයන් දක්වා විවිධ මාතෘකා පිළිබඳව අගනා අවබෝධයක් ලබා දිමට ද කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය (CGPSL) යනු පවුල් වෛද්‍යවරුන්ගේ ඉහළම, වෘත්තීය, අධ්‍යයන ආයතනය වන අතර එය 1969 දී ආරම්භ විය.

විද්‍යාලයේ මූලික අරමුණ වන්නේ පවුල් වෛද්‍ය විද්‍යාව අධ්‍යයන විෂයයක් ලෙස පිළිගැනීමක් ලබා ගැනීම වන අතර විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ශ්‍රී ලංකාවේ පවුල් වෛද්‍ය විද්‍යාවේ වඩා හොඳ ප්‍රමිතීන් සඳහා සාමූහිකව දායක වී ඇත. විද්‍යාලය ශ්‍රී ලංකා පවුල් වෛද්‍යවරයා නමින් තමන්ගේම සඟරාවක් ප්‍රකාශයට පත් කරන අතර එයට තමන්ගේම පුවත් පත්‍රිකාවක් සහ වෙබ් අඩවියක් ඇත.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, ශ්‍රී ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති වෛද්‍ය පුෂ්පා වීරසිංහ, උප සභාපති එච්.ඩී විඡේසිංහ, ලේකම් වෛද්‍ය දිලිනි බරණගේ ඉන්දියාවේ පවුල් වෛද්‍යවරුන්ගේ ඇකඩමියේ ආරම්භක සභාපති Dr. Raman Kumar  මහතා මෙන් ම ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභා සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.