මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්දය භාවිත කිරීම සඳහා ලියවිල්ලකින් නිවාඩු ඉල්ලා සිටින සෑම සේවකයෙකු සඳහා ම නිවාඩු ලබා දිය යුතු බවත් එසේ ලබා දෙන නිවාඩු කාල සීමාව , අනියම් සේවා නියුත්කිකයන්ද ඇතුලුව සියලුම සේවා නියයුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත විශේෂ නිවාඩුවක් ලෙස සැළකිය යුතු බවත් ඡන්දය පාවිච්චි කිරීම සදහා ප්‍රමාණවත් කාලයක් සේවායෝජකයා ලබා දිය යුතු බවත් සාමන්‍ය නිවාඩු හිමිකමින් පිටස්තර විය යුතු බවත් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
සේවා නියුක්තිකයන්ට ඡන්දය දීමට හැකිවන පරිදි නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අදාළ වූ පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ (262 වැනි අධිකාරිය ) 84 අ වගන්තියට අදාළ විධිවිධාන උපුටා දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ එම විධිවිධාන කඩකරන සේවායෝජකයින් වරදක් සිදු කරන බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේදී පනතේ (2)(1) වගන්තිය අනුව රුපියල් පන්සියයක් නොඉක්මවන දඩයක් හෝ එක් මාසයක් නොඉක්මවන දඩයක් හෝ දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම ඡන්ද විමසීමට අදාළව ඡන්දය දීමට හිමිකම් ඇති සේවා නියුක්තිකයන්ට නීත්‍යානුකූලව හිමිවන එම නිවාඩුව ලබා දෙන ලෙස රාජ්‍ය හා පෞද්ගලික දෙපාර්ශ්වයේ සියලුම සේවායෝජකයන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කෙරේ.
පළාත් පාලන ඡන්ද විමසීම මැයි මස 06වැනි දින පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ.