කළණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු යන තේමාව යටතේ 2025 වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බව සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී අතිපූජ්‍ය මුගුණුවල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ පැවසූහ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය , නුවරඑළිය ශාසනාරක්ෂක බල මණ්ඩලය, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව ,නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා ජනාධිපති කාර්යාලය එක්ව මෙවර රාජ්‍ය උත්සවය මැයි මස 10වැනි දින සිට 16 වැනි දින දක්වා පැවැත්වෙන බව උන්වහන්සේ පැවසූහ.
තායිලන්තයේ ධම්මකාය විහාරස්ථාන පදනම් විහාරස්ථානය, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණඩලය සහ නුවරඑළිය, බදුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලය ඒකාබද්ධව තායිලන්තයේ මහා සංඝරත්නය බණ්ඩාරවෙළ සිට නුවරඑළිය දක්වා සියම් ලංකා ධර්ම යාත්‍රා වැඩසටහනෙහි දෙවැනි අදියර පැවැත්වෙන අතර මැයි මස 10 වැනි දින නුවරඑළිය නගරයෙන් එය අවසන් කෙරෙන බව උන්වහන්සේ සඳහන් කළහ.
එසේම මෙම කාලසීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට වැඩ නිම නොවූ විහාර සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව ක්‍රියාත්මක කෙරෙන බවද මධ්‍යම පළාත් සභාව , පළාත් සභාවේ සංස්කෘතික අමාත්‍යංශය එක්ව දහම්පාසල් ළමුන් සඳහා ඩෙස් බංකු , පුස්තකාල ආධාර ලබා දීමට නියමිත බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
මීට අමතරව කොළඹ තරුණ බෞද්ධ සංගමය මැදිහත්වීමෙන් දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි දහම්පාසල් ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවද විහාර සංවර්ධන කටයුතු රැසක් සිදු කෙරෙන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.මැයි මස 10 වැනි දින පන්සිය නමක් උදෙසා සාංඝික දානමය පුණ්‍යකර්මයක් සිදු කරන බවද මීට අමතරව භක්ති ගීත වැඩසටහන් , වෙසක් කූඩු ප්‍රදර්ශනය , දන්සැල් ඇතුලු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද උන්වහන්සේ පැවසූහ.