මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත්කරනවා - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

 මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත්කරනවා - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • SocialShare:

මන්නාරම දිස්ත්‍රික්කයේ ජීවත්වන දෙලක්ෂයකට ආසන්න ජනතාවට තෘතීයික සෞඛ්‍ය සත්කාර සේවා සපයන මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල භෞතික හා මානව සම්පත්වලින් පරිපූර්ණ, අංග සම්පූර්ණ රෝහලක් බවට පත්කරන බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  පැවසී ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වීමෙන් අනතුරුව  පැවති සාකච්ඡාමය අවස්ථාවේ අදහස් දක්වමිණි.

උතුරු පළාත් සභාවේ ද එකඟත්වය සමගින්  මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරාගෙන යම් නිශ්චිත සංවර්ධන සැලැස්මක් යටතේ රෝහල සංවර්ධනය කර  මන්නාරම දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අදහස් කරන බවත්, රෝහලේ භෞතික සම්පත් සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා මධ්‍යම රජයෙන් රුපියල් මිලියන 500 ක මුදල් ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළ අතර එම මුදල් ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 250 ක් මෙම වර්ෂයේ දී ම ලබා දීමටත්, ඉතිරි මිලියන 250 ලබන වසරේ දී ලබා දීමටත් කටයුතු කරන බව ද  අමාත්‍යවරයා පැවසී ය.

විශේෂඥ වෛද්‍යවරයාගේ සිට පහළම සේවකයා දක්වා සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ යම් හිගයක් රෝහල තුළ පවතින බවට රෝහල් පාලන අධිකාරිය විසින් තමන්ව දැනුවත් කිරීමට පියවර ගත් බව  සඳහන් කළ අමාත්‍යවරයා  ඉදිරියේ දී පුහුණු අවසන් කරන කාර්ය මණ්ඩලවලින්, නවක බඳවා ගැනීමට නියමිත කාර්ය මණ්ඩලවලින් සහ විදේශ පුහුණුව නිමකර මෙරටට පැමිණෙන වෛද්‍යවරුන්ගෙන්  යම් ප්‍රමාණයක් මෙම රෝහලට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී පැවසී ය.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශය, සායන පරිශ්‍රය, සියලු වාට්ටු, ඖෂධාගාරය, හදිසි ප්‍රතිකාර ඒකකය, මුළුතැන්ගෙය, ඖෂධ ගබඩාව, රුධිර කාන්දුකරණ ඒ්කකය, රසායනාගාරය, ලේ බැංකුව, වෛද්‍ය නිල නිවාස ඇතුළු සෞඛ්‍ය කාර්ය  මණ්ඩල නිල නිවාස සහ නේවාසිකාගාර, ඇතුළු සියලු අංශ  නිරීක්ෂණයට ලක් කෙරිණි.

ඉන්දීය රජයේ මූල්‍යමය දායකත්වයෙන් රුපියල් මිලියන 600 ක වටිනාකමකින් යුතු ව  මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමට යෝජිත ස්ථානය ද මෙහි දි අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

රෝහල් පාලන අධිකාරිය, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී  සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තම සේවාවන් ඉටු කිරීමේ දී පවතින ගැටලු කෙරෙහි විශේෂ අවදානය  යොමු කරමින්  ඒ පිළිබදව දීර්ඝ ව කරුණු  විමසමින් එම ගැටලුවලට කෙටි කාලීන , මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විසදුම් ලබා දීමට ද අමාත්‍යවරයා පියවර ගනු ලැබී ය.

එමෙන් ම මන්නාරම  දිස්ත්‍රික්කයේ ජනතාවට බලපාන  බෝවන රෝග හා බෝ නොවන රෝග පාලනය, දරුවන්ගේ සහ මව්වරුන්ගේ වත්මන් පෝෂණ තත්ත්වය සහ ඉදිරි පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ත්‍රීපෝෂ ලැබීම, ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රවාහන ගැටලු සහ ප්‍රායෝගික ගැටලු පිළිබදවත් මෙහි දී උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ  මන්නාරම දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් මෙන් ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්  සමග ද  දීර්ඝ ව සාකච්ඡා කරන ලද අතර එහි දී මතු වූ  ගැටලුවලට එම අවස්ථාවේ දී ම විසදුම් ලබා දීමට ද  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  පියවර ගත්තේ ය.

රෝගී සත්කාර සේවාවන් විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර මේවන විට ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළු ක්‍රමවේදයන් කඩිනමින් සිදුවන බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ රෝගී සත්කාර සේවාවන් ශක්තිමත්ව පවත්වාගෙන යාමේ අරමුණු කර ගනිමින් මධ්‍යම රජයේ මූල්‍යමය දායකත්වයෙන්  රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් ECHO Machine, Video Laryngoscope, Double Phototherapy, Neonatal CPAP, Fluid Warmer, Infant Warmer, Infant Incubator, Pacho Machine, Surgical Laser System, Coagulation Analyzer, tissue Processor, Rotary Microtome ඇතුළු අති නවීන වෛද්‍ය උපකරණ තොගයක් ද  මෙහි දී  අමාත්‍යවරයා විසින් රෝහලට භාර දීමට කටයුතු කරන  ලදී.

මෙහි දී රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයින් විසින් රෝහලේ සංවර්ධනය සඳහා මෙතෙක් දක්වන ලද දායකත්වය පිළිබදව අදහස් දැක්වූ අතර, රෝහලේ ඉදිරි සංවර්ධනයට අඳාළ යෝජනාවන් මාලාවක් ද එම සාමාජිකයින් විසින් මෙහි දී ඉදිරිපත් කරන ලදී.

මන්නාරම දිස්ත්‍රික්කයේ ජීවත්වන දෙලක්ෂයකට ආසන්න ජනතාවකට තෘතීයික සෞඛ්‍ය සත්කාර සේවා සපයන ප්‍රධානතම රෝහල වන  මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳන් ධාරිතාවය 351 කි.  වර්තමානය වන විට සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණය 500 කට අධික ය. වාට්ටු සහ විශේෂ අංශ ප්‍රමාණය 35 කට අධික වේ.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා වව්නියාව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන්, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ, මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධර්මරාජන් විනෝදන්, මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එච්.එම්. අසාද්   යන මහත්ම මහත්මීන් ද  වෛද්‍ය අධිකාරීවරුන්, ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්,වෛද්‍යවරුන්, හෙද හෙදියන්, ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍ර සියලු වෘත්තීන් නියෝජනය කරමින්  කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගි වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.