හරිත මූල්‍යකරණය සහ දේශගුණික විපර්යාස සඳහා සාකච්ඡාවෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක විය යුතුයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

හරිත මූල්‍යකරණය සහ දේශගුණික විපර්යාස සඳහා සාකච්ඡාවෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක විය යුතුයි  - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
  • SocialShare:

හරිත මූළ්‍යකරණය සහ දේශගුණික විපර්යාස සඳහාඔරොත්තු දීම පිලිබඳ සාකච්ඡා සහ  සංවාදයෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක වියයුතු කාලය එළඹ ඇති  බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

කොළඹ සිටි සෙන්ටර් හි පිහිටි මැරියට් බොන්වෝයි හෝටලයේ පැවති දේශගුණික ක්‍රියාමාර්ග සඳහා තිරසාර මූල්‍යකරණය සහ කාබන් වෙළෙඳපොළ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් අද (30) පැවති  සැසියට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

තිරසාර ශ්‍රී ලංකාවක් සඳහා නව මුලපිරීම් කරා යොමු වන හරිත මූල්‍යකරණ උපාය මාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම දැනුවත් කිරීමේ සැසිය අග්‍රාමාත්‍ය කාර්යාලය, පරිසර අමාත්‍යාංශය සහ ගෝලීය හරිත වර්ධන ආයතනය (GGGI) එක්ව සංවිධානය කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 

මෙම සැසිය මඟින් අදාළ අමාත්‍යාංශවලට මෙම මූල්‍යකරණ යාන්ත්‍රණ ක්‍රියාත්මක වන ආකාරය සහ තිරසාර සංවර්ධන ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීම සඳහා ඒවා උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා දෙනවා.

 දේශගුණික විපර්යාසයන් තුළින්  වර්ධනය වන අභියෝගය විසඳීම සඳහා ශ්‍රී ලංකාව බොහෝ පාරිසරික රාමු සංවර්ධනය කර යාවත්කාලීන කළත් එය වර්තමානයේ  සංවර්ධන අභියෝගය බවට පත්ව  තිබෙනවා.

එකී අභියෝග ජන ජීවිතය, ජීවනෝපාය සහ සමස්තයක් ලෙස ජාතියේ ගමන් මගට අඛණ්ඩව බලපාමින් තිබෙනවා. විශේෂයෙන් මේ  දේශගුණික බලපෑම් වලට අපේ රටේ  කෘෂිකර්ම, ධීවර, බලශක්ති, සංචාරක සහ ජල සම්පත් වැනි ප්‍රධාන අංශ නිතර මුහුණ දෙනවා.  එය ජනතාවගේ ජීවනෝපායට මෙන්ම  සාර්ව ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක්.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තර දේශගුණික මූල්‍යකරණ මෙවලම් අප විසින් උපයෝගී කරගත යුතුයි. දේශගුණික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මූලිකත්වය ගැනීමට ශ්‍රී ලංකාවට ශක්තිමත් ප්‍රතිපත්තිමය පදනමක්, වගේම  දේශපාලන කැමැත්තක් සහ ආයතනික හැකියාවන් තිබෙනවා. අපට දැන් අවශ්‍ය වන්නේ මෙම අභිලාෂයට ගැළපෙනගෘහ ආර්ථිකය නිර්මාණ කරගැනීමයි.  මෙම  සැසිය සමස්ථ සමාජය  පුරා දැනුවත්භාවයක් සහ තාක්ෂණික හැකියාවක් ගොඩනැගීම සඳහා වූ පියවරක් ලෙස මම දකිනවා.

මේ පිලිබඳ සංවාදයෙන් ඔබ්බට ගොස් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් අදහස් සහ සැලසුම් ක්‍රියාවට නැංවීමෙන් පමණයි අර්ථවත් ප්‍රතිඵල අපට අත්කර ගත හැකි වෙන්නේ.

රටට අවශ්‍ය ධනාත්මක වෙනස්කම් ඇති කිරීම සඳහා සියලුම පාර්ශවකරුවන් සහ නිලධාරීන් එය ක්‍රියාත්මක ක්‍රිරීමට මූලිකත්වය ගත යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ජී. පී. සපුතන්ත්‍රී, මහ බැංකු නියෝජිතයින්, අමාත්‍යාංශ නියෝජිතයින් සහ GGGI ආයතනයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.