සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි විධිමත්, කාර්යක්ෂම සේවාවක් ගොඩනැගීමට සෞඛ්‍ය ඇමතිගෙන් වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා

සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි විධිමත්, කාර්යක්ෂම සේවාවක් ගොඩනැගීමට සෞඛ්‍ය ඇමතිගෙන්  වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා
  • SocialShare:

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සාහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බවත්, ඒ පිළිබදව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමා සියලු සේවාවන්හි නිරත කාර්ය මණ්ඩලයන්ට සිය ප්‍රණාමය පිරිනමන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග අඛණ්ඩ ව සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන විශේෂ සාකච්ඡාමය වැඩසටහන් මාලාව අතරතුරදී ය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලූම වෘත්තිකයන්, වෘත්තීන් අතර මනා අවබෝධයක් තබා ගනිමින් තම රාජකාරී හා වගකීම් අකුරටම ඉටුකිරීම ප්‍රශංසනීය කරුණක් බව මෙහි දී වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා ඔවුනට බලපාන ගැටලුවලට කඩිනම් විස‍ඳුම් ලබා දීම සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම තුළින් වැඩ වර්ජන, උද්ඝෝෂණ වලින් තොරව සේවය මුලික කර ගනිමින් ක්‍රියා කළහැකි පරිසරයක් නිර්මාණය කරගත හැකි බව පෙන්වා දෙන ලදී. ඒ සඳහා ගත හැකි නීත්‍යානුකූල සහ සාධාරණ සියලු ක්‍රියාමාර්ග ගැනීමට තමා නොපැකිළිව ක්‍රියා කරන බව ද, අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

වෘත්තීය සමිති සමග පවත්වන විශේෂ සාකච්ඡා මාලාව යටතේ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සමග පසුගිය දින කිහිපයේ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා මාලාවක් අමාත්‍යවරයා පවත්වනු ලැබීය.
එම සාකච්ඡා තවත් ඉදිරියට ගෙනයමින් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ සමග ද අමාත්‍යවරයා පසුගිය දා සාකච්ඡා පවත්වන ලදි.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, රජයේ විද්‍යුත් නිකර්පණ රේඛන ශිල්පි සංගමය, ශ්‍රී ලංකා අක්ෂි තාක්ෂණවේදීන්ගේ හා සෘජුනේත්‍රඥයින්ගේ සංගමය, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය, රජයේ ඛන්තු රේඛන ශිල්පි සංගමය, රජයේ පාසැල් දන්ත චිකිත්සක සංගමය, රජයේ දන්ත තාක්ෂණ ශිල්පි සංගමය, සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පි සංගමය, රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය යන වෘත්තීය සමිති අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරනු ලබයි.
වෘත්තීය සමිති නියෝජිතයින් මෙහි දී ඉදිරිපත් කරන ලද බොහොමයක් වෘත්තීය ගැටලු සහ යෝජනාවන් ඉතා සාධාරණ බව පැවසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා එම ගැටලු වලට විධිමත්, සාධාරණ විසඳුම් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ද පැවසී ය.
එමෙන්ම වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර විධිමත් කාර්යක්ෂම සේවාවක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනැලීම සඳහා නව රජය ගෙන යන වැඩපිළිවෙලට සිය යහපත් අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින්ට විවෘත ආරාධනාවක් ද කළේ ය.
මෙම සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම්වරුන් වන වත්සලා ප්‍රියදර්ශණී, චාමික ගමගේ, යන මහත්ම මහත්මීන් ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, , අධ්‍යක්ෂවරුන් ඇතුළු ව, වෘත්තීය සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ද සහභාගි වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.