ඡන්දහිමි නාම ලේඛනයට සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම මැතිවරණ කොමිසන් සභාවේ අරමුණ බව අතිරේක මැතිවරණ කොමසාරිස් (ජාතික මැතිවරණ ) රසික පීරිස් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ, ඡන්දහිමි නාම ලේඛනයට පුරවැසියන්ගේ නම් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.
සෑම වර්ෂයකම පෙබරවාරි මස 01වැනිදා ඡන්දහිමියන් සඳහා ලියාපදිංචි වීමේ දිනය වේ. එම දිනයට තමන් පදිංචිව සිටින ලිපිනය ඡන්දහිමි නාම ලේඛනයට ඇතුලත් වන බවත් එම දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ වීම යන කාරණා සැළකිල්ලට ගෙන ප්‍රධාන ඡන්දහිමි නාම ලේඛනයට නම් ඇතුලත් කිරීමට කටයුතු කරන බවත් රසික පීරිස් මහතා පැවසුවේය.
තවද , 2025 වර්ෂයේ ප්‍රධාන නාම ලේඛණයට නම් ඇතුලත් කිරීමට 2007 ජනවාරි 31 හෝ ඊට පෙර උපන් තැනැත්තන් මේ සඳහා සුදුසුකම් ලබන බව කී ඒ මහතා , ගණන් ගන්නා දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ වීම සහ ශ්‍රි ලාංකික පුරවැසියෙක් වීම යන කාරණ දෙක එහිදි ප්‍රධාන ලෙස සළකා බලන බවද පැවසීය.
මෙම වර්ෂයේ ඡන්දහිමියන් ගණන් ගැනීම සඳහා ගණන් ගැනීමේ නිලධාරී සෑම ගෘහයකටම යෑම සිදු නොවන බවත් “අ” සහ “ආ” ලැයිස්තු යාවත්කාලීන කිරීම සදහා තොරතුරු එක් රැස්කිරීමට පමණක් ගෘහ වෙත යෑම සිදුකරන බවත් බොහෝ ප්‍රද්ශවල ගණන් ගැනීමේ නිලධාරීන් ලෙස ග්‍රාම නිලධාරීන් කටයුතු කරන අතර කොළඹ නාගරික ප්‍රදේශයේ සහ මීගමුව සහ ජනාකීර්ණ ප්‍රදේශවල විශේෂ ගණන් ගැනීමේ නිලධාරීන් යොදවා ඇති බවද පැවසීය.
සංශෝධන ඉදිරිපත් කරනවා නම් පමණක් ගණන් ගැනීමේ නිලධාරීන්ට තොරතුරු ලබා දීම සිදු කළ යුතු අතර එහිදි සංශෝධන සඳහා ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුලත් වීම සහ ඉවත් යන කරුණු සළකා බැලේ.
මෙම සංශෝධන යොමු කිරීම සඳහා වන ආකෘති පත්‍රය හඳුන්වනු ලබන්නේ ER ආකෘති පත්‍රය ලෙස යි. මෙම ER ආකෘති පත්‍රය ග්‍රාම නිලධාරීන්ගෙන් ලබා ගැනීමට අවස්ථාව ඇති බවත් මැතිවරණ කොමිසන් සභාවේ වෙබ් අඩවියෙන් එම ආකෘති පත්‍රය භාගත කර ගැනීමටද අවස්ථාව හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය.