රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය
  • SocialShare:

රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරිිිිින් සහ තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීම යටතේ නව බඳවා ගැනීම් 18,853ක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්යමණ්ඩල නැවත සමාලෝචනය කර, අත්‍යවශ්‍ය බඳවාගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කර ඇතැයිද ඒ අනූව එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව මේ වන විට රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද
අමාත්‍යවරයා පැවසීය.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන "2025 අයවැය මඟින් යෝජිත රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ වැඩපිළිවෙල" යටතේ නියමිත බඳවාගැනීම් පටිපාටිවලට අනුකූලව අයදුම්පත් කැඳවා එකී බඳවාගැනීම් සිදු කිරීම පිණිස අදාළ අමාත්‍යාංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කළ බවද පැවසුවේය.
දේශපාලන බලපෑම්වලින් තොරව කුසලතා සහ සුදුසුකම් මත පමණක් පදනම්ව, රාජ්‍ය අංශය සඳහා බඳවාගැනීම් සිදු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වේ. කොවිඩ් - 19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබීමත්, පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයත් සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් පිරවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇත.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.