අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් තරුණ සමුළුවේ දී ජනාධිපතිතුමා කළ කතාව Featured

    හම්බන්තොට, මාගම්පුර, රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ මධ්‍යස්ථානයේ ලෝක තරුණ සමුළුවේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවත්වන ලද කතාව.  

     

    World Conference on Youth 2014 Sri Lanka 1

     

    මහා මණ්ඩලයේ සභාපතිතුමනි,

    ගරු තරුණ කටයුතු අමාත්‍යවරුනි, අමාත්‍ය නියෝජිතවරුනි,
    ගරු මැතිඳුනි, මහලේකම්තුමාගේ තරුණ කටයුතු පිළිබඳ නියෝජිතතුමනි,
    ගෞරවනීය තරුණ නියෝජිතවරුනි,
    නෝනාවරුනි, මහත්වරුනි,

     

    ශ‍්‍රී ලංකාව හා ප‍්‍රථම වතාවට ආසියාවේ පැවැත්වෙන 2014 ලෝක තරුණ සමුළුව වෙනුවෙන් ඔබ සැම පිළිගැනීමට ලැබීම මට මහත් සතුටකි. මහා මණ්ඩලයේ සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ තරුණ කටයුතු පිළිබඳ විශේෂ නියෝජිතවරයා ද මෙහි පැමිණ සිටීම ශ‍්‍රී ලංකාවට හා තරුණ නියෝජිතයන්ට ඇත්ත වශයෙන්ම ගෞරවයකි. තරුණ පිරිස් සමග ඍජුව සම්බන්ධ වෙමින් තරුණයන්ගේ ගැටලුවලට සවන් දීමේ හා ඒවා ආමන්ත‍්‍රණය කිරීමේ ඇති වැදගත්කම ඔවුන්ගේ සහභාගීත්වයෙන් පෙන්නුම් කෙරේ.

     

    ගෞරවනීය අමුත්තනි, තරුණ නියෝජිතවරුනි,

     

    2011 ජුනි මස පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ එක්සත් ජාතීන්ගේ තරුණයන් පිළිබඳ ඉහළ මට්ටමේ හමුවේ දී මේ ලෝක සමුළුවට සත්කාරකත්වය සැලසීමට ශ‍්‍රී ලංකාව යෝජනා කළේ තරුණයන් විසින් මුහුණ දෙන දිනෙන් දින ඉහළ යන අභියෝග වැනි හේතු නිසා ය. මිලියන 20ක් වන අපගේ ජනගහනයෙන් 26%ක ප‍්‍රතිශතයක් තරුණයන් ය. ත‍්‍රස්තවාදී උවදුර අවසන තරුණ පිරිස් අතර වඩාත් සුරක්‍ෂිත යහපත් හා සංවර්ධිත ශ‍්‍රී ලංකාවක් පිළිබඳ බලාපොරොත්තු නැවත ප‍්‍රාණවත් වී ඇත. ගෝලීය මට්ටමේ දී ලෝකය මේ වන විට එදා මෙදාතුර සිටි විශාලතම තරුණ පරම්පරාව දැක ඇත. ගෝලීය දක්‍ෂිණ අර්ධයේ වෙසෙන දිනෙන් දින වර්ධනය වන විශාල තරුණ ජනගහනය හේතුවෙන් ඔවුන්ගේ අවශ්‍යතා හා අභියෝග පිළිබඳ සැලකිලිමත් නොවී රියෝ 20ක් පසුවිපරම් කිරීමට හෝ පශ්චාත් 2015 සංවර්ධන න්‍යාය පත‍්‍රය පිළිබඳව සාකච්ඡා කිරීමට නොහැකි බවට ඔබ එකඟ වනු ඇත.

     

    වර්තමාන තරුණයන් වගකීම් රැසකට මුහුණ දී සිටිති. දිනෙන් දින ඉහළ යන වැඩිමහලූ ජනතාවට සළකන අතර, තමන්ගේ ජීවිකාව සරි කර ගැනීමේ මං සොයා ගැනීමට ඔවුන්ට සිදුව ඇත. මෙම වර්ධනය වන නැඹුරුතාව කෙරෙහි සැලකිලිමත් නොවූවොත් එය ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට, ජාතික නායකයන්ට හා ගෝලීය ප‍්‍රජාවට පාලනය කළ නොහැකි මට්ටමේ ගැටලු එක සේ ඇති කරනු ඇත.

     

    2015 වන විට ලෝක තරුණ ජනගහනය බිලියන 03ක් පමණ වනු ඇත. තරුණ අවධානය එක් ප‍්‍රධාන ධාරාවකට යොමු කිරීමට හා ජාතික, කලාපීය හා ගෝලීය මට්ටම්වල දැනට පවත්නා හා අනාගත සංවර්ධන වැඩසටහන් හා ඔවුන්ගේ සහභාගීත්වය සහතික කිරීමට ගෝලීය ක‍්‍රමෝපායක් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි. එවන් කථිකාවක් සඳහා මෙම ලෝක තරුණ සමුළුව උද්‍යෝගීමත් වේදිකාවක් සලසනු ඇති බවට මට විශ්වාස ය.

     

    ගෞරවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි,

     

    සංවර්ධනයේ තරුණ සහභාගීත්වය සහතික කිරීමේ මූලික වගකීම රාජ්‍ය සතු වේ. මෙම වෑයම අර්ථවත් හා සාර්ථක කර ගැනීම සඳහා නායකයන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් වෙත අපි අභියෝග ගණනාවක් පිළිබඳව සලකා බැලිය යුතු වන්නෙමු. ඕනෑම සමාජ ක‍්‍රියාදාමයක තරුණ සහභාගීත්වය පිළිබඳව ඔබ විමසූ විට සාම්ප‍්‍රදායික ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ කෝණයෙන් බොහෝ විට විමසනු ලබන්නේ එවන් කාලයක් සඳහා හැකියාව, දැනුම, අත්දැකීම්, නායකත්වය හා සම්පත් ඔවුන් සතුව ඇත්ද? යන්නයි. යැපෙන්නන් හෝ ප‍්‍රතිලාභීන් මිස වඩාත් යහපත් ප‍්‍රතිඵල සඳහා දායක විය හැකි ක‍්‍රියාශීලී හවුල්කරුවන් ලෙස තරුණයන් නොසළකා හරිනු ලැබ ඇත.  

     

    මෙම අධිපතිවාදී ආකල්ප පසෙකට දමමින් වත්මන් තරුණ ප‍්‍රජාව පරිණාමය වී ඇති බව හා ඔවුන්ට සමාජ සංවර්ධනයට සහභාගී වීමේ හා දායකවීමේ අවස්ථා අවශ්‍ය බවට අප පිළිගත යුතු ය. තරුණ සහභාගීත්වයට ඉඩ සැලසෙන පරිදි අපගේ සාම්ප‍්‍රදායික හා ගතානුගතික ප‍්‍රතිපත්ති සැලසුම් රාමුව හා ආයතන නැවත සකස් කළ යුතු වන්නෙමු. අප සිතන ආකාරය වෙනස් විය යුතුය. තරුණයන් සම්බන්ධයෙන් ප‍්‍රතිපත්ති හා චින්තන ධාරාවේ දී අප වේගයෙන් ඉදිරි පියවර ගත යුතුව ඇත.

     

    ගෞරවනීය අමුත්තනි, තරුණ නියෝජිතවරුනි,

     

    ප‍්‍රතිඵලදායක තරුණ සහභාගීත්වයක එකතු කළ අගයන් වන්නේ මොනවාද? ප‍්‍රතිපත්ති පරතර පියවීමට ආධාර වන තක්සේරු කිරීම් ඇතුළු වඩා යහපත් ප‍්‍රතිඵල සැලසුම් කිරීමේ දී හා ක‍්‍රියාත්මක කිරීමේ දී තරුණයන් සහභාගී කර ගැනීම හා අදහස් ලබා ගැනීම ප‍්‍රතිඵලදායක ය. ඔවුන්ගේ ගැටලු, බලාපොරොත්තු හා අභිලාෂ තේරුම් ගැනීමට අපට හැකි වන්නේ ඔවුන් සමග සම්බන්ධ වීම තුළින් පමණි.  ඕනෑම ජාතියක අනාගතය වන තරුණයන් පූර්ණ ලෙස බලගැන්වීම සහතික කිරීම සඳහා ඔවුන් පෝෂණය කළ යුතු අතර, ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව බරපතළ ලෙස සැලකිලිමත් විය යුතුය.

     

    තරුණ සිත් බලපෑම්වලට ඉතා සංවේදී බව හා පහසුවෙන් නොමඟ යැවිය හැකි බව අපි දනිමු. මෙය සිය සටන්කරුවන් ලෙස තරුණයන් බඳවා ගැනීම හා ත‍්‍රස්තවාදීන් විසින් මෙවලමකට ගනී. එසේ බඳවා ගන්නා තරුණයන් බොහෝ විට තුවක්කුවේ අවසන් ඉලක්කය බවට පත් වේ. නැතහොත් ජීවත් වීමට වරම් ලදහොත් කම්පිත හා වියට පත් පරම්පරාවක් බවට පත් වේ. ඇමරිකානු ජාතික විමර්ශන තොරතුරු සේවය විසින් ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදය ලෙස හඳුන්වා දී ඇති ත‍්‍රස්තවාදී සංවිධානයක අභියෝග හමුවේ ශ‍්‍රී ලංකාව මෙම තත්ත්වයට මුහුණ දුනි. ශ‍්‍රී ලංකාවේ දී හිටපු තරුණ සටන්කරුවන් ත‍්‍රස්තවාදයේ ගොදුරු ලෙස මිස හවුල්කරුවන් ලෙස නොසළකන ලද අතර, සියලුම දෙනා යහපත් අනාගතයක් වෙනුවෙන් පුනරුත්ථාපනය කර සමාජගත කර ඇත. කිසියම් රාජ්‍ය යාන්ත‍්‍රණයකට වඩා මෙම නොමඟ යවනු ලැබූ තරුණයන් පුනරුත්ථාපනය කර සමාජගත කළ හැකි වන්නේ සමාජයට බව අපි දැඩිව විශ්වාස කරමු.

     

    ගෞරවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි,

     

    අපගේ සුවිශේෂ තරුණ ජනගහන අවශ්‍යතා හා අභිලාෂයන්ට ශ‍්‍රී ලංකාව විශේෂ අවධානයක් යොමු කර ඇත. 1971 දී හා 1989 දී හටගත් තරුණ කැරලි දෙකක අත්දැකීම් සහිත අප සාහසික අසංතෘප්තිය ඇති කරන හේතු පිළිබඳව විමසිලිමත් ය. විශේෂයෙන්, ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී හා ක‍්‍රියාත්මක කිරීමේ දී තරුණයන් ක‍්‍රියාශීලී සහභාගීකරුවන් වූ විට ආර්ථික හා සමාජ සංවර්ධනය වඩාත් සාර්ථක බව ශ‍්‍රී ලංකාව පිළිගනී.

     

    ග‍්‍රාමීය මට්ටමේ තරුණ මූලික සංවිධාන 10,000කට අධික අපගේ ජාලය හා ශ‍්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව හරහා අපගේ ජාතික ප‍්‍රතිපත්ති සැලසුම් කිරීමේ හා ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාවලිය සඳහා තරුණයන් සහභාගී කර ගැනීම අපි අඛණ්ඩව සිදු කරන්නෙමු. තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා සිවිල් සමාජය සමග ද ජාතික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සමග ද  එක්ව අදහස් හුවමාරු කර ගනිමින් ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා සම්බන්ධ වෙති. රටේ තරුණ පරම්පරාව අතර පශ්චාත් ගැටුම් ශී‍්‍ර ලංකාව තුළ සාමයේ ඉවසීමේ හා සුසංවාදයේ පරමාදර්ශ පෝෂණය කිරීම සඳහා ද මෙය වැදගත් අවස්ථාවක් සලසා ඇත.  

     

    ගෞරවනීය අමුත්තනි, තරුණ නියෝජිතවරුනි,

     

    පුළුල් සහභාගී කණ්ඩායම් සමූහයක් සමග ප‍්‍රතිඵලදායී සම්බන්ධතාවක් තුළින් ප‍්‍රත්‍යක්‍ෂ තරුණ සංවර්ධනය හා බලගැන්වීම සඳහා දායක විය හැකි ප‍්‍රතිඵල, ඉලක්කගත අවසන් ප‍්‍රතිඵලයක් සඳහා මෙම සමුළුව නිසැකවම ආධාර වනු ඇත. සිය ධූර කාලය තුළ මහා මණ්ඩලයේ සභාපතිතුමා තරුණ අවශ්‍යතා අඛණ්ඩව ආමන්ත‍්‍රණය කරනු ඇති බව මට විශ්වාස ය. තොරතුරු සපයන්නෙකුගේ කාර්යභාරය ක‍්‍රියාවට නංවමින් තරුණයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ වැඩසටහන්වලට පහසුකම් සලසන හා එක්සත් ජාතීන්ට හා ඒ ආයතනවලට තරුණයන්ගේ අදහස් සපයන මහ ලේකම්ගේ තරුණ කටයුතු පිළිබඳ නියෝජිතවරයා කොළඹ ප‍්‍රකාශය පිළිබඳව ද එක්සත් ජාතීන්ට හා එහි ආයතනවලට තොරතුරු ලබා දෙනු ඇත.

     

    ගෞරවනීය අමුත්තනි, තරුණ නියෝජිතවරුනි,

     

    අර්ථාන්විත ක‍්‍රියාකාරිත්වයක් සඳහා සිය ධාරිතාවන් හා ශක්තීන් උකහා ගැනීම පිළිබඳව මනා වැටහීමක් තරුණයන්ට ලබා දිය යුතු ය. ඔවුන්ගේ නවෝත්පාදන හා නිර්මාණශීලීත්වය නව දැනුම ගවේෂණය කිරීම හා අනාගතයට ලොව සූදානම් කිරීම සඳහා ඉතා වැදගත් වේ. ව්‍යවසායක තරුණයන් හරිත බලශක්තිය, තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය වාණිජ ක්ෂේත‍්‍රයන්ට ක‍්‍රියාශීලී ලෙස දායක විය හැකිය.

     

    සාර්ථකත්වයේ මිහිරි හා අමිහිරි ඵල නෙළා ගැනුමට මෙන්ම වර්තමාන අත්වැරදිවල ප‍්‍රතිඵල විඳ දරා ගැනීමට ද තරුණයන් සූදානම්ව සිටිය යුතු ය. ජාතික හා අන්තර්ජාතික තලයන් හි දී තරුණයන් යනු හුදු සේවා භුක්තිවිඳින්නන් නොව සිය ප‍්‍රාජාවගේ අනාගතය සකස් කරන ක‍්‍රියාශීලී සහභාගීකරුවන් ලෙසට හඳුනාගැනීම සඳහා මඟපාදනු ඇත. එබැවින් නායකයන් ලෙස අපි අනාගතය සකස් කිරීමේ දී ඔවුන්ගේ නියමාකාර කාර්යභාරය ඉටු කිරීම සඳහා තරුණ ජනතාවට ප‍්‍රවේශයන් සලසා දීමට බැඳී සිටිමු.

     

    මා, තරුණ ක‍්‍රියාකාරිකයෙකු ලෙස විශ්වාස කළ අභිප‍්‍රායයන් වෙනුවෙන් සටන් කළ ආකාරය මාගේ මතකයට නැගේ. එදා මාගේ මිතුරන් සමග තරුණ ප‍්‍රමුඛතාවන් වෙනුවෙන් පෙනී සිටින ආකාරය, අදහස් පළ කළ ආකාරය මට එදා මෙන් අද ද මතකය. මුහුකුරා ගිය පුද්ගලයෙකු ලෙස ඔබ තුළ වන ජවය මට අද පෙනේ. වේදිකාවේ ඔබ නර්ථනය කළ ආකාරයෙන් මම එය දුටිමි. එම උත්තේජනය ඔබගේ දෑසින් දකින මම ඔබගේ මනෝභාවයන් හා හැඟීම් තවමත් බෙදා ගනිමි.

     

    තරුණ ජනතාවගේ අභිප‍්‍රායයන් ආමන්ත‍්‍රණය කිරීමේ හා ඔවුන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් රජයන්, තරුණයන්, සිවිල් සමාජය හා ශාස්ත‍්‍රඥයන් අතර සහයෝගීතාව ශක්තිමත් කරන උත්පේ‍්‍රරකයක් ලෙස ක‍්‍රියා කිරීම සඳහා සහභාගීත්ව වේදිකාවක් නිර්මාණය කිරීමට මම ඔබට දිරි දෙමි.

     

    නිර්මාණශීලී වන්න. බාධක බිඳ දැමීමට හැම විටම නව ප‍්‍රවේශයන් සොයා යෑමට උත්සාහ වන්න. වඩාත් හොඳ ලෝකයක් ගොඩනැගීම සඳහා ඔබගේ ජවය හා ශක්‍යතාව යොදවන්න. වඩාත් යහපත් ලෝකයක් සඳහා ඔබ සතු මෙවලම් වන්නේ නවෝත්පාදනය හා නිර්මාණශීලීත්වය යි.

     

    ඔබ සැමගෙන්, ලෝකය නියෝජනය කරන තරුණ පිරිසගෙන් ඔබගේ රට පූජනීය ලෙස සළකන ලෙසට මම ඉල්ලා සිටිමි. එය ඔබගේ කිසිදු වෙනත් උවමනාවකට දෙවැනි විය යුතු නොවේ. එමෙන්ම එය කුමනාකාරයේ ප‍්‍රතිලාභයක් වෙනුවෙන් හෝ කැප කළ නොහැක. රට වෙනුවෙන් වන ඔබගේ ලැදියාව කිසිවකට පාවා දෙන ලෙසට අභ්‍යන්තර බලවේගයන්ගෙන් පීඩනයක් සිදු විය හැකි වුවත් එවන් බලපෑම්වලට සියලූ ආකාරයෙන් විරුද්ධ විය යුතුය. අපි උරුමකම් කියන සංස්කෘතීන්, සම්ප‍්‍රදායන්, චාරිත‍්‍ර විනාශ නොකර යහපත් ලෝකයක් අප සැම වෙනුවෙන් ගොඩනැගිය හැක්කේ එවිට පමණි.

     

    ඔබ සැම ට්විටර් සමාජ ජාලය භාවිතා කරන බව මම දනිමි. එබැවින් බ‍්‍රහස්පතින්දා ට්විටර් සංවාදයකට සහභාගී වන ලෙසට ඔබ සැමට මම ආරාධනා කරමි.

     

    තරුණයන් පිළිබඳ ලෝක සමුළුවේ සාකච්ඡා සියලු ආකාරයෙන් සාර්ථක වේවා යැයි ද සමුළුවට සහභාගී වී සිටින්නන්ට ශ‍්‍රී ලංකාවේ ගත කරන කාලය අනුස්මරණීය එකක් වේවා යයි ද මම පතමි.

     

    ඔබ සැමට තෙරුවන් සරණයි !


    HC/PS&IMU_Pix By : Sudath Silva

    World Conference on Youth 2014 Sri Lanka 2

    World Conference on Youth 2014 Sri Lanka 3

    World Conference on Youth 2014 Sri Lanka 4

    World Conference on Youth 2014 Sri Lanka 5

    World Conference on Youth 2014 Sri Lanka 6

    World Conference on Youth 2014 Sri Lanka 7

    World Conference on Youth 2014 Sri Lanka 8

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya