ජූලි 15, 2020
tami eng youtube  twitter facebook
    logo

    යුරෝපීය අධිකරණයේ නඩු තීන්දුව පදනම් ව ඇත්තේ පටිපාටික සාධක මතයි

    නොවැම්බර් 17, 2014

    යුරෝපීය අධිකරණයේ නඩු තීන්දුව පදනම් වී තිබෙන්නේ, පටිපාටක සාධක අනුව බවත් අප කෙළින්ම එතැනට යෑමෙන් විශේෂ වාසියක් සිදු නොවන අතර ඉන් අපේ මාතෘ භූමියේ ස්වාධිපත්‍යය, අභිමානය, ආත්මගරුත්වය සම්බන්ධයෙන් සිදු වන අවාසිය, වාසියට වඩා අතිවිශාල එකක් වන බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා (14) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහවැනි දින විවාදයට එක්වෙමිනි.


    සිකුරාදා පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ 112 වැය ශීර්ෂය විවාදයට ගැනුණි‍.


    එහිදී අමාත්‍යවරයා පළකළ අදහස් මෙසේය.

    විරුද්ධ පක්ෂයේ සමහර කථිකයන්  ඉතාමත් පටු දෘෂ්ටි කෝණයකින් බලා තම විවේචන, තර්ක ඉදිරිපත් කිරීම ගැන මේ අවස්ථාවේදී මා කනගාටු වනවා. මා හිතන්නේ රටේ විදේශ ප්‍රතිපත්තිය මේ ගරු සභාවේ විවාදයට භාජනය වන මේ අවස්ථාවේදී අපි පුළුල් ක්ෂේත්‍රයක් ගැන තුලනාත්මකව බලන්න ඕනෑ. එහෙම කරනවා නම් මා ඔබතුමාගෙන් අහන්න කැමැතියි, අපි මෙන්න මේවා පිළිගන්නවාද නැද්ද කියලා.  ඉතාමත් අභියෝගාත්මක යුගයක් -ඒ කියන්නේ, අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය මෙවන් අසීරුතාවලට, ව්‍යාකූලතාවලට බලපාපු වෙන යුගයක් නැහැ.-  තුළ අපේ රට වෙනුවෙන් අපේ රජය හා අපේ අමාත්‍යාංශය කොයි විධියේ කාර්ය භාරයක් ඉෂ්ට කර තිබෙනවාද කියා අපි මොහොතක් සලකා බලමු.


    අපට හිතන්න පුළුවන්ද, ගරු සභාපතිතුමනි, රටවල් 54ක නියෝජිතයන්ගෙන් සමන්විත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුව මේ රටේ පැවැත්වීම ලෙහෙසි පහසු කාර්යයක් වුණාය කියලා? එය ඉතාමත් අමාරු දෙයක්. ප්‍රබල රටවල් අපට විරුද්ධ වුණා. එක රටක් කිව්වා, ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකත්වයට පත් වුණොත් පොදුරාජ්‍ය මණ්ඩලයට දෙන සියලුම මුදල් කපා දමනවාය කියා. එහෙම කිව්වා විතරක් නොවෙයි ඒක කළා. අන්න ඒ විධියේ තත්ත්වයක් තුළ අපට පුළුවන් වුණා, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්වල ශක්තිමත් සහයෝගය ලබා ගන්න. විශේෂයෙන්ම, සංවර්ධනය වන ලෝකයේ හඬක් නඟා ඒ රටවල් අපට කිට්ටු කර ගෙන ඒ අයගේ අඛණ්ඩ සහයෝගය ලබා ගැනීමට අප තුළ තිබුණු ශක්තිය නිසා තමයි අපට  ඒක කරන්න පුළුවන් වුණේ. ඇත්ත වශයෙන්ම ඒක ආශ්චර්යයක්. ඒ මිසක් අහම්බෙන් සිදු වෙච්ච දෙයක් නොවෙයි. ලෝකයේ ඉතාමත් කීර්තිමත් නායකයන් මේ සා විශාල සංඛ්‍යාවක් පෙළ ගැහිලා, පෙරහැරක් වගේ අපේ රටට පැමිණි අවස්ථාවක් අපේ රටේ ඉතිහාසයේ කිසිම යුගයක අපි දැක්කේ නැහැ. ඒවා නිකම්ම සිදු වන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව, අපේ රට පිළිබඳව තිබෙන ගෞරවය, කීර්තිය නිසා තමයි එහෙම දෙයක් වන්නේ. ප්‍රථම වතාවට චීනයේ පළමුවන පෙළේ නායකතුමා -චීන ජනාධිපති  ෂී ජින් පිං නායකතුමා- පැමිණියා.  මීට පෙර කිසිම අවස්ථාවකදී එතුමා  අපේ රටට පැමිණිලා නැහැ.  ඒ සතියේම ජපානයේ අගමැතිතුමා ෂින්සෝ අබේ  අපේ රටට ප්‍රවිෂ්ට වුණා. එකම සතියක් ඇතුළත තමයි ඒ දෙදෙනාම  පැමිණියේ. මේවා නිකම්ම සිදු වෙච්ච දේවල් නොවෙයි. සැලසුම්සහගත වැඩ පිළිවෙළක් නිර්මාණය කරලා ලොකු උද්‍යෝගයක්, උනන්දුවක් ඇතිව ක්‍රියාත්මක කිරීමේ ශක්තිය නිසා තමයි එවන් ජයග්‍රහණ අපේ මාතෘ භූමියට ලබා ගැනීමට පුළුවන් වුණේ.  බටහිර ලෝකය ඒකට සම්මාදම් වුණා. ස්පාඤ්ඤයේ විදේශ ඇමතිවරයා ඒ කාලයේම අපේ රටට ආවා. ඒ විතරක් නොවෙයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ස්පාඤ්ඤයේ හයවන පිලිප් රජතුමා,  -ඒ  වනකොට  එතුමා කිරීටය ලබා මාස තුනක්වත් ගත  වෙලා නැහැ. -  නිව්යෝක් නගරයේදී අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ ඉතාමත් සුහද ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූවා. අවුරුදු තුන, හතරකට ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය  සමඟ අපේ තිබුණේ කොයි විධියේ සම්බන්ධයක්ද කියා  අපි තුලනාත්මකව හිතා බැලුවොත් අද එය සම්පූර්ණ විපර්යාසයකට භාජනය වෙලා තිබෙනවා.  අද අපට ඒ රටවලින් ඉතාමත් ශක්තිමත් සහයෝගයක් ලැබෙනවා.


    ඒ වාගේම යෞවන කටයුතු සම්බන්ධයෙන් මේ අවුරුද්දේ මැයි මාසයේ ලෝකයේ අවධානය අපේ දිවයිනට යොමු   වුණා. ලෝක නායකත්වය ගැන අපි ඉතාමත් සාර්ථක  සම්මන්ත්‍රණයක් පැවැත්වූවා පමණක් නොවෙයි, එහි ප්‍රයෝගික ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම සඳහා අංග සම්පූර්ණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ භාග්‍යය ශ්‍රී ලංකාවට ලැබුණා. අපේ රටට පමණක් නොවෙයි, රට වටා පිහිටා තිබෙන මහා සමුද්‍රයේ නිශ්චලභාවය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා නාවුක හමුදාවෙන් කෙරෙන විශිෂ්ට කාර්ය භාරය ලෝකයේ පැසසුමට අද ලක් වෙලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැදිලිව එය ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික  නියෝජිත සුබිනෙයි නන්දි  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා,  සහශ්‍රයේ සංවර්ධන ඉලක්ක අභිභවා ගොස් විශාල  ප්‍රගතියක් ලබා ගැනීමට ලංකාව සමත් වුණාය  කියා. මේවා ගැන අපි ශත 5ක් තරම්වත් අගය කරන්නේ නැද්ද කියන ප්‍රශ්නය ඇසිය යුතුයි.


    අනික් කාරණය මෙයයි. ඩිලාන් පෙ‍රේරා ඇමතිතුමා වාගේම මමත් ගරු කරන ඉතාමත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන සම්පන්දන් මන්ත්‍රීතුමා බොරදියේ මාළු අල්ලා ගැනීමට දරපු උත්සාහය ගැන මා කනගාටු වනවා. චීනයයි, ශ්‍රී ලංකාවයි කැඳ හැළියේ දමලා එතුමාට මොනවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. චීනය එක්ක තිබෙන අපේ සම්බන්ධතාව අද ඊ‍යේ ඇති වුණු සම්බන්ධතාවක් නොවෙයි. සිරිමාවෝ බණ්ඩානායක අගමැතිනියගේ කාලයේදී තමයි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හැදුවේ. ඒ සම්මන්ත්‍රණ ශාලාවේදී තමයි අපි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ රැස්වීම පැවැත්වූවේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේදී තමයි ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැඟිල්ල -උසාවි සංකීර්ණය- අපට ලබා දුන්නේ. මේක ඓතිහාසික සම්බන්ධතාවක්. එම නිසා එතුමා කියන එක ඉතාමත් වැරැදියි. මා එය තරයේ හෙළා දකිනවා. එතුමාගේ ප්‍රකාශනය වුණේ, චීනය යම්කිසි වැරැදි විධියේ වාසියක් ලබා ගැනීම සඳහා අපි සමඟ මේ සම්බන්ධතාව ඇති කර ගෙන යනවාය කියන එකයි.


    සම්පන්දන් මන්ත්‍රීතුමා ඒ ගැන නොදන්නවා නොවෙයි. එතුමා ‍හොඳහැටි දන්නවා, ඉන්දියාව සමඟ තිබෙන අපේ සම්බන්ධතාව ගැන. දවස් තුනකට ඉස්සෙල්ලා නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා අපේ ජනාධිපතිතුමා සමඟ දුරකථනයෙන් ඉතාමත් සුහද සාකච්ඡාවක් පැවැත්වූවා. ඊයේ ඉන්දීය මහ කොමසාරිස්තුමා අතිගරු ජනාධිපතිතුමාව මුණ ගැහුණා. මා එතැන සිටියා. ඔබතුමා කියන විධියේ කිසිම කහටක් එතැන නැහැ. නාවුක කටයුතු සම්බන්ධයන් අද ලෝකයම පිළිගත් Galle Dialogue සම්මන්ත්‍රණය දෙසැම්බර් 01වන දා පැවැත්වෙනවා. ඉන්දීයාවේ ජාතික ආරක්ෂක උපදේශකතුමා, ඉහළම නිලධාරියා අජිත් කුමාර් දොවාල් තමයි ප්‍රධාන දේශනය පවත්වන්නේ. ගරු සම්පන්දන් මන්ත්‍රීතුමා ඒ ගැන හොඳහැටි දන්නවා. ඉන්දියාව, මාල දිවයින් හා ශ්‍රී ලංකාව එකතු වෙලා මේ ප්‍රදේශයේ සමුද්‍රයේ සුරක්ෂිතභාවය රැක ගැනීම සඳහා වැඩ පිළිවෙළක් දියත් කරනවා. ඉන්දියාව සමඟ අපේ තිබෙන්නේ අංග සම්පූර්ණ සම්බන්ධතාවක්. දුම්රිය මාර්ග, මහාමාර්ග, බලශක්ති ක්ෂේත්‍රය, නිවාස, ආරෝග්‍යශාලා යන සියලුම දේ සම්බන්ධයෙන් අතිවිශිෂ්ට මෙහෙවරක් ඉන්දියාව ඉටු කරනවා. ඒ සම්බන්ධයෙන් අපේ කෘතඥතාව, අපේ ප්‍රණාමය ඉන්දියාවට හැම දාමත් ප්‍රකාශ කරලා තිබෙනවා. ඉන්දියාව ඒක හොඳහැටි දන්නවා.
     

    විජිත හේරත් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ තර්කය නීති තර්කයක් හැටියට වැරැදියි. එතුමාගේ තර්කය වුණේ, යුරෝපීය අධිකරණයේ සාකච්ඡාවට භාජන වුණු දේවල් අපේ රටේ අභ්‍යන්තර කරුණු නොවෙයි, ඊට වඩා පුළුල් කරුණුයි කියන එකයි. ඇත්ත වශයෙන් එතුමා පිටු 40කින් සමන්විත නඩු තීන්දුව කියවනවා නම් හොඳයි. පාර්ශ්වකරුවකු හැටියට අපි කෙළින්ම නඟපු යම් යම් ප්‍රශ්න සම්බන්ධයෙන් අපේ රටේ අභ්‍යන්තර කටයුතු ගැන අවධානය යොමු කිරීමට ඒ තුළින් යුරෝපීය අධිකරණයට අවකාශ ලැබෙනවා. අනික් කාරණය, යුරෝපීය අධිකරණයේ නඩු තීන්දුව පදනම් වෙලා තිබෙන්නේ, පටිපාටක සාධක අනුවයි. එම නිසා අපි කෙළින්ම එතැනට යෑමෙන් විශේෂ වාසියක් සිදු වන්නේ නැහැ. අපේ මාතෘ භූමියේ ස්වාධිපත්‍යය, අභිමානය, ආත්මගරුත්වය සම්බන්ධයෙන් සිදු වන අවාසිය, වාසියට වඩා අතිවිශාලයි. ඒකේ ලොකු වාසියක් තිබුණා නම්, නීතිය දන්නා කෙනකු හැටියට මා ඒකට විරුද්ධ වන්නේ නැහැ. හැබැයි එහෙම දෙයක් නැහැ. සාක්ෂි සම්බන්ධයෙන් අපි පමණක් දන්නා දෙයක් නම් අපි යෑමේ යම්කිසි වටිනාකමක් තිබෙනවා. ඒ විධි‍යේ පදනමක් මත නොවෙයි, ඒ නඩු තීන්දුව තීරණය වුණේ.


    ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා වැරැදි ප්‍රකාශයක් කළා, අපි අභියාචනයක් ඉදිරිපත් කරන බව කිව්වාය කියලා. අපි කිසිම දවසක එහෙම කිව්වේ නැහැ.  ඒක සම්පූර්ණයෙන් වැරැදියි.
     

    ඊයේ මට ලිපි ගොනුවක් ඉදිරිපත් කර තිබුණා. යුරෝපීය රටවල් 17ක් සමඟ අපේ තානාපතිවරුන් සාකච්ඡා කරලා, අපි යුරෝපීය කවුන්සිලය සමඟ සාකච්ඡා කරලා, ඒ අය සමඟ වැඩ පිළිවෙළක් යොදනවා. එහෙම නැතුව මෙහේට ඇවිල්ලා කෑ ගහලා, දේශපාලන වාසියක් ගැනීමට අපි මොනවත් කරන්නේ නැහැ.  ඒ අධිකරණය බලයට අපේ රට යටත් කරන්නේ නැහැ. එසේ කිරීමට ඉතාමත් සාධාරණ හේතු තිබෙනවා.
     

    විජිත හේරත් මන්ත්‍රීතුමා සඳහන් කළා, එතුමාගේ වචනවලින්,  "උපාය මාර්ගික සැලසුම් හදන්නට ඕනෑ" කියලා. ඒක තමයි අපි කරන්නේ. එතුමා හොඳ හැටි දන්නවා, කොතරම් භයානක දේවල් අද සිදු වෙනවාද කියලා.  වවුනියා පළාතේ කොළ කෑලි, හොර අත්සන් කරලා, පස්ස දොරෙන් ඒ සාක්ෂි ඉදිරිපත් කිරීමට වැඩ පිළිවෙළක් යොදනවා ජිනීවාවල.  නිල වශයෙන් deadline එක ඉවරයි.  හැබැයි, සමහර සාක්ෂි ඒ ‍ගොල්ලොත් පිළි ගන්නවා.  ඒ විධියේ තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අපි නිර්භීතව, නොසැලී ඉදිරිපත් වුණා.


    විජිත හේරත් මන්ත්‍රීතුමා සඳහන් කළා, කලාපීය තත්ත්වයේ තිබෙන වැදගත්කම.  මම ඉතාමත් ආඩම්බරයෙන් කියනවා,  ගරු සභාපතිතුමනි, මානව හිමිකම් මණ්ඩලයේ ආසියානු රටවල් 14ක් ඉන්නවා. ඒ රටවල් 14න් 13ක්ම, ඇමෙරිකා එක්සත් ජනපදයේ යෝජනාවට පක්ෂවීම තරයේ ප්‍රතික්ෂේප කළා. මේවා, නිකම් සිදු වෙන දේවල් නොවෙයි.  රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරීම තුළින්, අප ලබා ගත් ජයග්‍රහණ හැටියට, මම ඉතා ආඩම්බරයෙන් මෙම ගරු සභාවට කියනවා.


    මට තිබෙන කාලය ඉතා සීමිතයි. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කථාවේ මට්ටම බලන්න?  ඉස්සරලා එතුමා, නීතිය ඩයාන්ගෙන් හෝ කාගෙන් හෝ ඉගෙන ගන්න ඕනෑ, ඒවා ගැන කථා කරන්නට ඉස්සර වෙලා. එතැන The European Court of Justice, ඒ කියන්නේ, ආයතන තුනක් එක්කාසු වෙලා හදන එකක්. මහා ලොකු දෙයක් හැටියට, නිලධාරින්ට වචනයක් වැරදුනා කියලා පම්පෝරි ගහන එක තමයි, ඒ කථාවේ මට්ටම.


    පටන් ගන්නේ තව කාගේ හරි සිතුවිල්ලකින්. Senator කෙනෙක් ගෙන්. එතුමාගේ කථාවන් කියවලා බලන්න. එතුමාගේ පියා ගැන නොයෙක් විධියේ විවේචනයන් තිබුණා. නමුත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තමන්ගේම සිතුවිලි ඉදිරිපත් කළා. අහරෙන් මෙහෙන් උපුටා ගන්නේ නැතිව Thesaurus එකෙන් විනාඩි 5කින් ඒවා ඔක්කොම හොයා ගන්න පුළුවන්කම තිබෙනවා. ‍මොකක්ද ඒකේ තිබෙන වැඩේ?
     

    අපේ විදේශ ප්‍රතිපත්තියේ අරමුණ මොකක්ද කියලා මම මේ ගරු සභාවේදී පැහැදිලි කරන්න කැමැතියි. අද පවතින තත්ත්වය තුළ විශාල අභියෝග තිබෙනවා. මේ එන සතියේ බදාදා දිනයේදී මම තානාපතිවරුන්ව කැඳවනවා. ඒගොල්ලොන්ට මම කියනවා "බලන්න, මේක ව්‍යාජ වැඩක්; මේක හොර වැඩක්"කියලා. මේක සත්භාවයෙන් කරන වැඩක් නොවෙයි. ඒක මම පැහැදිලිව ඔප්පු කරනවා. ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමනි, අපේ රට වෙනුවෙන් උපරිම ශක්තිය යොදලා ඒ පිළිබඳව  ක්‍රියාමාර්ගයක් ගන්නවා. අපේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛතම අභියෝගය තමයි economic diplomacy එක. අද ලංකා බැංකුවේ ශාඛා, රක්ෂණ සංස්ථාවේ ශාඛා, ශ්‍රී ලංකා ගුවන් සමාගම්, රෝහල් යනාදිය අප්‍රිකානු රටවල්වල විවෘත කරලා තිබෙනවා. අපේ ව්‍යාපාරික ප්‍රජාව ඒ රටවල්වල වැජඹෙනවා. උගන්ඩා, ටැන්සානියා යනාදී රටවල. ඇයි ඔබතුමන්ලා හිනා වුණානේ අපි ටැන්සානියා ගියා කියලා. සතියක් ඇතුළත ඔබාමා ජනාධිපතිතුමා ආවා. ඊට පස්සේ සිනහවුණු ඒවා ඔක්කොම නැති වුණා. විදේශ ප්‍රතිපත්තිය කියන්නේ ඒක නොවෙයි. කළු හමක් නිසා පාච්චල් කරනවා. අප්‍රිකානු මහාද්වීපය තමයි ලෝකයේ සීග්‍රයෙන් වර්ධනය වන මහාද්වීපය. බලන්න ඒ අයගේ ඛනිජ සම්පත් දිහා. ඒ කෙසේ වෙතත් බුද්ධි ගෝචර දූර දර්ශී ආකල්පයක් වෙනවා. ජිනීවා නිවසේ කථාව බැලුවාම, ඒ මනුස්සයා එල්ටීටීඊ ද නැද්ද, ඔහු ව අත්අඩංගුවට ගත්තා ද නැද්ද කියලා කවුද දන්නේ? මම දන්නේ නැහැනේ. දන්නේ ස්විස් රජය. කවුරු අත්අඩංගුවට ගත්තා කියලා ද කියන්නේ? ස්විස් රජයනේ. ඉතිං That is the best possible evidence. ඒගොල්ලෝ කියනවා මේක එහෙම නොවෙයි කියලා. මේක නවතින්නේ නැති ව දිගින් දිගටම යනවා. මේක සම්පූර්ණයෙන්ම බොරුවක්. මේක කියන අය දන්නවා මේක බොරුවක් කියලා. ස්විස්ටර්ලන්ත රජය කියනවා මේකේ කිසිම පදනමක් නැහැ කියලා. බෙරයක් ගහනවා වාගේ මේක දිගින් දිගටම යනවා. ඒ මොකද කියන්න දෙයක් නොමැති නිසා. මේක පුස්සක්; හිස්. කිසිම හරයක් නැති දෙයක්. මේක දිගින් දිගටම යනවා.


    සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා සමාගම් ගැන. මේ රජයේ පමණක් නොවෙයි. එක එක රටවල්වලට  ආවේණික වූ යම් කිසි සංස්කෘතියක් තිබෙනවා. එක්සත් රාජධානියේ බටහිර යුරෝපයේ සාමාන්‍යයෙන් PR firms ඒ විධියටම පාවිච්චි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. හැබැයි, ඇමරිකානු එක්සත් ජනපදයේ  වොෂිංටන් නගරයේ ඒක මුල් බැස ගත් සම්ප්‍රදායක්. ඒකේ වරදක් මම දකින්නේ නැහැ. 2007 ගිවිසුම ගැන විශේෂත්වයක් මම දකින්නේ නැහැ. ජපානයේ නැව්, රුසියාවේ නැව් ලංකාවට එනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශද්‍රෝහී විධියට එම ගිවිසුම අත්සන් කළා කියලා සම්පූර්ණයෙන්ම වැරදි තර්කයක් ඉදිරිපත් කරලා තිබුණා. එහෙම දෙයක් නැහැ. ඒකේ සුවිශේෂත්වයකුත් නැහැ. 21 වෙනි ශත වර්ෂයේ අපිට ලෝකයේ හුදකලා වෙන්න බැහැ. ඒ රටවලින් නැව් එනවා. අපේ සම්බන්ධතා ඒ රටවල් සමඟ පවතිනවා. අපිට විශේෂයෙන්ම තිබෙන්නේ නිල් ආර්ථිකයක් සම්බන්ධ සංකල්පයක්. ඒ ක්ෂේත්‍රය තුළ අපි ජගත් ගෞරවයට පාත්‍ර වෙනවා. ඒ සංකල්පයත් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ. එතුමා ඒක භාර ගත්තේ ධීවර අමාත්‍යාංශය භාරව හිටපු කාලයේ. ඉතාමත් නිර්මාණ ශීලී ලෙස, උත්පාදන ශක්තියක් ඇතිව කටයුතු කළා. ධීවර අමාත්‍යාංශය කියන්නේ බෝට්ටු, ධීවරයන් පමණක් නොවෙයි. ඊට වඩා පුළුල් දර්ශනයක්, දැක්මක් ඇතිව වැඩ කටයුතු කරපු එකේ අවසන් ප්‍රතිඵල අප ඉදිරියේ ඇස්පනා පිටම තිබෙනවා. මොන ප්‍රහාර එල්ල කළත්, මම කියන්නේ නැහැ හැම ප්‍රහාරයක්ම වගකීමකින් ‍තොරව එල්ල වුණා කියලා. සමහර ඒවා වටිනා අදහස් තිබුණා. සමහරුන්ගේ මිනුම් දණ්ඩ මේකයි. තමුන්ගේ හෘද සාක්ෂිය අනුව හිතන්න ‍ඕනෑ, මේ ඉදිරිපත් කරන විවේචනයේ යම් කිසි සත්‍යතාවයක් තිබෙනවාද කියලා. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒකට හොඳම නිදර්ශනය තමයි ජිනීවා නිවාසය පිළිබඳ ප්‍රශ්නය. මේ පිළිබඳව යම් යම් කරුණු ඉදිරිපත් වුණා.
     

    ඒ කරුණු ගැන මම කථා කරන්න යන්නේ නැහැ. එල්ටිටීඊ එකට සම්බන්ධ කවුද කියලා කියනවා නම් අපිට ඒ ගැන කියන්න හුඟක් දේවල් තිබෙනවා. හැබැයි, සමහර කරුණු ලිපි ලේඛන එක්ක ඉදිරිපත් කරන්න ඕනෑ නම් අපි ඒ කටයුත්තත් යථා කාලයේ දී සිදු කරන්නම්.


    අවසාන වශයෙන් මම මේ කාරණය කියනවා. මේ වාගේ දුෂ්කර කාලයක, මේ සියලුම අභියෝගවලට මුහුණ දෙමින් සියලුම මඩ ව්‍යාපාරවලට මුහුණ දෙමින් රට සංවර්ධනය කරගෙන යනවා. මම මීට ඉස්සෙල්ලා කිව්වා වාගේ අපිට මඩ ගහන එක වෙනම කතන්දරයක්. නිලධාරින්ට මඩ ගැසීම නම් ඉතාමත් පිළිකුල් සහගතයි. මොකද, ඒ අයට මේ ගරු  සභාව ඉදිරියේ තමන්ගේ නිදහස වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවකාශය නැහැ. ඒකෙන් වෙන්නේ ඒ අය අධෛර්යමත් කිරීමක්. ඒක වැරැදි දෙයක්. ඒක අපේ රටට හොඳ දෙයක් නොවෙයි.


    HC/NDH

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya