ඔක්තෝබර් 23, 2018

tamieng

    එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහනේ ණය යෝජනා ක‍්‍රම එළිදැක්වීමේ අවස්ථාවේ දී ජනාධිපතිතුමා කළ කතාව

    අගෝස්තු 03, 2018

    අපේ රටේ අද දවසේ තිබෙන ආර්ථික ක්ෂේත‍්‍රයේ කරුණු සැලකිල්ලට ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම, විරැකියාව, නිෂ්පාදන ක‍්‍රියාවලියේ වර්ධනය, අපනයනය, කර්මාන්ත සංවර්ධනය ආදී කරුණු මුල් කරගත් එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා වැඩසටහන එළිදක්වන අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා.

    මීට මාස කිහිපයකට පෙර රටේ සංවර්ධන ක්ෂේත‍්‍ර පිළිබඳව කළ සාකච්ඡාවේදී අපට මතුවූ කාරණයක් තමයි රාජ්‍ය බැංකුවල විශාල ආදායමක් පෙන්නුම් කර තිබීම. ඒ අනුව රාජ්‍ය බැංකු සියයට සීයක් වාණිජ වෙනවාද සියයට සීයක් සේවා බැංකු වෙනවා ද කියන කාරණාව විමසිල්ලට ගත යුතු කරුණක්. පෞද්ගලික බැංකු වාණිජ බැංකු බව අපි දන්නවා. එහෙත් රටේ සංවර්ධනයේ දී රාජ්‍ය බැංකු සියයට 50 ක් වාණිජ වීමත්, සියයට 50 ක් සේවා වීමත් සුදුසුයි කියන එකයි මගේ අදහස. රාජ්‍ය බැංකු විසින් පෙන්වන අසීමිත ලාභය සෘජුව ජනතාව තුළට යනවා ද නැතහොත් එය රාජ්‍ය වියදම්වලට එක්වී විවිධ ක්ෂේත‍්‍රයන් හරහා ආයෝජනය වීමේදී එය කොතෙක් දුරට දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න පදනමක් වෙනවා ද කියන කාරණය විමසිල්ලට ගත යුතු කරුණක්.

    මට මතකයි එදා මහබැංකු අධිපතිතුමා ඇතුළු බැංකු ප‍්‍රධානීන් සමග මේ ප‍්‍රශ්නය සාකච්ඡා කළ අවස්ථාවේ ප‍්‍රධාන වශයෙන් විරැකියාව ගැන අපේ ව්‍යවසයාකයින් වඩාත් ශක්තිමත් කිරීම, දිරිගැන්වීම, මූල්‍ය හා මූල්‍ය නොවන සම්පත් ලබාදීම ආදී කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණා. එහිදී අපි දැනගත්තා ව්‍යවසායකයින් සඳහා මහ බැංකුව ඇතුළු බැංකුවල ණය යෝජනා ක‍්‍රම සියයකට ආසන්න සංඛ්‍යාවක් තිබෙනව බව. ඒ සම්බන්ධයෙන් ජනතාවගේ දැනුවත් භාවය ඉතා අල්ප බවයි එම සාකච්ඡුාවේදී මතුවුණේ. රාජ්‍ය බැංකු විශාල ලාභයක් ලබනවා නම් සෘජුවම ඒ ලාභයෙන් කොටසක් දේශීය ව්‍යවසායකයින් සඳහා ආයෝජනය කිරීම ඉතා වැදගත් බව එහිදී අපි සාකච්ඡා කළා.

    එහි ප‍්‍රථිපලයක් ලෙස තමයි ණය යෝජනා ක‍්‍රම සියයකට ආසන්න සංඛ්‍යාවක් මුදල් අමාත්‍යාංශය, බැංකු සමග සාකච්ඡා කරලා ණය යෝජනා 15කට එය අන්තර්ගතකර, ඒවාට ආකර්ශනීය නම් කිරීමක් සිදු කරලා අද මේ රටේ තරුණ පිරිසට, ව්‍යවසායකින්ට මේ ණය යෝජනා ක‍්‍රමය හඳුන්වා දෙන්නේ. මුදල් ඇමතිතුමා පැහැදිලි කළා මේ ණය යෝජනා ක‍්‍රමය බලාපොරොත්තුවන ව්‍යවසායකයින් සඳහා සියලූම බැංකුවල විශේෂිත කවුළුවක් තිබෙනවා කියලා. ඒ වගේම ඒ සඳහා ප‍්‍රධාන නිලධාරියෙක් නම් කරලා ඒ කටයුත්තට යොදවලා තියෙනවා කියලා. එය ඉතාම අත්‍යවශ්‍ය වැදගත් දෙයක්. බිලියන 60 කට විතර ආසන්න මුදලක් මේ ව්‍යාපෘතිය යටතේ අපි ව්‍යවසායකයින්ට ලබා දෙනවා. මේ ණය ව්‍යවසායකයින්ට ලබාදීමේදී ඔවුන් දිරිගැන්වීම සිදුවෙනවා. නමුත් පසු විපරම් කිරීම ඉතා අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන, රජය බලාපොරොත්තුවන අරමුණු ඉෂ්ට වෙයි කියලා මම හිතන්නේ නැහැ.

    එක් එක් ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් ගත්විට කර්මාන්ත, කෘෂිකර්මාන්ත වැනි ක්ෂේත‍්‍ර සඳහා ලබාගන්නා මුදල් එම ව්‍යාපෘතිය සඳහාම වැය කරනවාද, ඒ වගේම එම ව්‍යවසායකයා තමන් කැමති වූ ඒ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔහුගේ දැනුම කොතෙක් ද කියන කාරණය සොයා බැලිය යුතුයි. අපි දන්නවා අපේ රටේ තරුණ පිරිස් නිර්මාණශීලීයි. ඒ වගේම අධිෂ්ඨානශීලියි.

    ව්‍යවසායකයෙක් කියලා කියන්නේ සිය දැනුම අවබෝධය, අත්දැකීම්, නිර්මාණශීලීත්වය සමග ස්ව ශක්තියෙන් නැගී සිටින පුද්ගලයෙක්. ඔහුට රජයේ අතදීම තමයි මේ මූල්‍ය හා මූල්‍ය නොවන සම්පත් ලබාදීම. අනෙක් කාරණය තමයි මේ තිබෙන ණය යෝජනා තුළ සියයට 90 ක් කෘෂිකර්මාන්තය, කර්මාන්තය මුල්කරගත් නිෂ්පාදන ක‍්‍රියාවලියේ ව්‍යවසායකයින් තමයි කටයුතු කරන්නේ.

    මේ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදනවලට වෙළෙඳපොළ සකස්කිරීම, ඔවුන්ට සුදුසු ඇගයීමක් සමග නිෂ්පාදනයට සාධාරණ මිලක් ලබාදීම, භාණ්ඩවල නිෂ්පාදනයේ තිබිය යුතු ගුණාත්මකභාවය, ප‍්‍රමිතිය, වෙළෙපොළ, ඉතාමත් වැදගත් වෙනවා. මෙය දේශීය කර්මාන්ත සඳහා ඉතාමත් වැදගත් වන කාරණයක්. අපි අද කණගාටු වෙන්න ඕනෑ සරුංගලෙත් පිටරටින් ගේනවා. අපි පුංචි කාලේ කුඹුරට ගිහින් පුංචි උණ පඳුරක් ළඟට ගිහින් ඒකෙන් කෑල්ලක් කපාගෙන අයිනකට ගිහිල්ලා සරුංගලේ හදා ගන්නවා. එය කොච්චර නිර්මාණශීලීද. ඒ කුඩා වයසට මොන තරම් තෘප්තිමත් ද, ඒ තෘප්තිමත්භාවය සහ නිර්මාණශීලිභාවය සමග සමාජයට, රටට අලූත් මිනිසෙක් බිහිවෙනවා.

    අපි කුඩා කාලයේ වෙසක් එකට මාසෙකට කලින් පටන් ගන්නවා කූඩු හදන්න. ළමයි එක තැනකට එකතුවෙලා කූඩු හදනවා. අද වෙසක් එකට අටපට්ටම් කූඩුවත් පිට රටින් ගේනවා. සරුංගලෙත් පිටරටින් ගේනවා. මේ විශාල ණය යෝජනා ක‍්‍රම තුළින් නිෂ්පාදන කි‍්‍රයාවලිය වර්ධනය කර, කර්මාන්ත ක්ෂේත‍්‍රයේ පිබිදීමක් ඇති කරනවා කියන්නේ දේශිය ආර්ථිකය ශක්තිමත් කිරීමක් වගේම ස්ව උත්සාහයෙන් නැගී සිටින පුද්ගලයන්ට අතදීමක්. ඒ වගේම එය ජාතික ආර්ථිකයට ප‍්‍රබල දායකත්වයක් වෙනවා.

    මේ පුංචි නිෂ්පාදන තමයි හොඳට කළොත්, ගුණාත්මකභාවයෙන්, ප‍්‍රමිතියෙන් හොඳ වුණොත් විදේශ වෙළෙඳපොළට යවන්නේ. එහෙමනම් මේ ව්‍යවසායකයින් විසින් නිෂ්පාදනය කරන දේ හඳුනාගෙන බැංකුවෙන් ණය දෙනවා වගේම මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය කෘෂිකර්ම අමාත්‍යාංශය එක්වෙලා එම අමාත්‍යාංශවල ඒකාබද්ධ වැඩපිළිවෙළක් තිබෙන්න ඕන මේ නිෂ්පාදනය කරන දේට මිල, වෙළෙඳපොළ, ගුණාත්මකභාවය වර්ධනය වගේම මේ නිෂ්පාදනය කරන දේවල් පිට රටින් ගේනවානම් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන්. නැත්නම් ඔය දෙන ණයත් ඉවරයි. ඔතනින් සමහර අය සිය දිවි නසා ගන්නත් පුළුවන්. මොකද මහන්සිවෙලා, ණයවෙලා අරගෙන හදලා වෙළෙඳපොළක් නැහැ. ඒක පිටරටින් ගේනවා.

    ලෝකයේ දියුණු වූ සෑම ජාතියක්ම ස්වශක්තියෙන් ගොඩනැගුනේ දේශීය නිෂ්පාදන, දේශිය කර්මාන්ත, දේශීයත්වය අගය කරමින්. අපිට පිටරටින් දැනුම අවශ්‍යයි. පිට රටින් තාක්ෂණය අවශ්‍යයි. පිට රටින් උපදේශන අවශ්‍යයි. නමුත් අපේ ජනතාවට, තරුණ පරපුරට, අනෙක් විවිධ ක්ෂේත‍්‍රවල ඉන්න අයට සිය දැනුම, බුද්ධිය, ඥානය පරිනතභාවය සමග කුසලතාවයන් තිබෙනවා.

    මම ගිය සතියේ ගියා පුත්තලමේ කල්පිටිය ප‍්‍රදේශයට. ලංකාවේ ඉතා ආදර්ශමත් ගොවින් ඉන්න ප‍්‍රදේශයක් කල්පිටිය. දෙළුම් වවලා තිබෙන ගොවින් කිව්වා අපි දැන් දෙළුම් කඩන්නේ නැහැ, දෙළුම් පිටරටින් ගෙනල්ලා පුරවලා වෙළෙඳපොළේ. කෙසෙල් වවන ගොවින් කිව්වා අපි දැන් කෙසෙල් වවන්නේ නැහැ. කෙසෙල් පිටරටින් ගෙනල්ලා වෙළෙඳපොළ පිරිලා. ඔබ දන්නවා ලෝකයේ කිසිම රටක අපේ කෙසෙල් තරම් රසවත් නැහැ. අපේ තරම් කෙසෙල් වර්ග ලෝකයේ වෙනත් රටවල නැහැ.
    අපේ කෙසෙල් වර්ග මොනතරම් රසවත් ද ඒ වගේම සෞඛ්‍ය වශයෙන් පෝෂණ ශක්තිය, පදාර්ථ මොනතරම් ගුණාත්මකභාවයක් තිබෙනවාද, මම මේ කාරණාව කිව්වේ මේ ලොකු වැඩක් අපි ආණ්ඩුවක් විදියට කරන්නේ, මේ වැඬේ හරියට හරි ගියොත් රටක් විදියට ජයග‍්‍රහණය කරන්න පුළුවන්.

    ඒ වගේම මේ ව්‍යවසායකයින් අපි අතරමන් කළොත් වෙළෙඳපොළ දුන්නේ නැත්නම්, මිල දුන්නේ නැත්නම් අපනයනයට අවශ්‍ය මාර්ගය පෙන්නුවේ නැත්නම් මේ නිෂ්පාදන පිටරටින් ගලාගෙන එන්න දෙනවනම් මේ ඔක්කොම ඉවරයි. ඒ නිසා රජයක් විදියට අපි බලාපොරොත්තු වෙන්නේ කුමක්ද, මෙතන සිටින විවිධ ක්ෂේත‍්‍රවල විද්වතුන්, විශේෂඥයින් බැංකු ප‍්‍රධානින්, රාජ්‍ය නිලධාරින් ඒ වගේම ව්‍යවසායකයින් අලූත් තරුණ පරපුර ඔබ අප බලාපොරෙත්තු වෙන්නේ අප සියලූදෙනාගේම තිබෙන්නේ ඉතාම පොදු පවිත‍්‍ර වූ සාමුහික අරමුණක්. වගකීමක්. මේ රටේ ආර්ථිකය දියුණු කරන්න. මේ රටේ විරැුකියාවට පිළියම් යොදන්න.

    අපි ඉතාම සතුටු වෙනවා මෙතන ඉන්න තරුණයෝ ඔවුන්ගේ ආදර්ශය පෙන්නුවා ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනාගෙන තිබෙනවා. පිට රට ගිහිල්ලා සිය නිෂ්පාදන කරනවා. ඒ විදියට අපේ තරුණ උගතුන් ලෝකය ජයග‍්‍රහණය කරලා තිබෙනවා. එහෙමනම් අනිත් අයත් ඉස්සෙල්ලා රට ජයග‍්‍රහණය කරන්න ඕන. රට ඇතුළේ වෙළෙඳපොළ ජයග‍්‍රහණය කරන්න ඕන. එතනින් එහාට ජාත්‍යන්තර වෙළෙඳපොළ තිබෙනවා. ඒ සඳහා යන්න කිසිඳු බාධාවක් නැහැ, ඒ අවශ්‍ය මගපෙන්වීම අපි කරනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපි ඉතාම යහපත් චේතනාවෙන් මේ හදාගත් වැඩපිළිවෙළේ නිසි ප‍්‍රතිඵලයක් ගන්න මේ සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුවීම ඉතා වැදගත් වෙනවා කියලා.

    අපි යම් යම් උත්සවවලට සහභාගී වුණහම අපේ හස්ත කර්මාන්ත ශිල්පීන්, අපේ විවිධ ව්‍යවසායකයින් ඉදිරිපත් කරන දුක්ගැනවිල්ල තමයි අපි හදන බඩු ටික අපිට විකුණගන්න තැනක් නැහැ. අපිට නගරයේ තැනක් දෙන්න, බඩු ටික විකුණගන්න තැනක් දෙන්න. ව්‍යවසායකයින්ට මේ ප‍්‍රශ්නය මතු වෙනවා. ඒ ප‍්‍රශ්නයට පිළියම මේ ණය යෝජනා ක‍්‍රමයත් එක්කම අවශ්‍ය වෙනවා. එය සැලසුම් කළයුතු වෙනවා. ණය ලබා ගැනීම, නිෂ්පාදන කි‍්‍රයාවලිය, වෙළෙඳපොළට යන අවස්ථාව වන විට ඔහුට සුදුසු ස්ථානයක් ලබාදීම මේ සියල්ල සමග. ඒ නිසා මේ තිබෙන අඩු පාඩු ටික සකස් කරලා මේ වැඩපිළිවෙළ සාර්ථක කිරීමට රජයක් විදියට අපි සියලූදෙනාම කැපවෙනවා කියන එක විශේෂයෙන්ම මේ රටේ ව්‍යවසායකයින්ට, ව්‍යවසායකත්වය පිළිබඳ බලාපොරොත්තු තබා ඇති අයට විවිධ වෘත්තිය පුහුණුවල සිටින උගත් තරුණ පරපුරට අපි පැහැදිලි ප‍්‍රතිඥාවක් දෙනවා. ස්තූතියි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu