අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට ගෞරවය ගෙන දෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පක්ෂ පාට භේදයකින් තොරව උපරිම ශක්තිය ලබා දිය යුතුයි

    දෙසැම්බර් 27, 2018

    රටට ගෞරවය ගෙන දෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පක්ෂ පාට භේදයකින් තොරව උපරිම ශක්තිය ලබා දීම සෑම රජයකම වගකීම බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔක්තෝබර් 26 වනදා සිදුවීම සමඟ රටට සිදුවූ එක් පාඩුවක් වූයේ පාරමී ක්‍රීඩිකාවට රුපියල් ලක්ෂ 30 ක නිවස නොලැබීම බවත්, ලොව දිනූ ඇය මුළු රටටම සම්පතක්වුවද ඇයට පාටක් ගසා වෙන් කරන්නට ඇතැම් පුද්ගලයින් කටයුතු කිරීම අශීලාචාර ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට ලාභ ලබන ව්‍යාපාරිකයින් රැසක් සිටින අතර ඔවුන් ලබන ලාභයෙන් යම් මූල්‍ය ප්‍රතිලාභයක් පාරමී දැරියගේ අනාගත ක්‍රීඩා කටයුතු උදෙසා ලබා දෙන ලෙස තමන් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් පැවැසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නව නිවසක් පිරිනැමීම වෙනුවෙන් (26) දින නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයට සහභාගි වෙමිනි.

    මීට අමතරව පාරමී ක්‍රීඩිකාව පදිංචිව සිටින පුත්තලම පිහිටි නිවසේ අළුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් සෙවණ අරමුදලින් ලබා දී ඇත. එහි අළුත්වැඩියා කටයුතු මේවන විට අවසන් කර ඇත.

    නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් ඇය වෙත මෙම නිවස ලබා දුන් අතර සියලු පහසුකම් සහිත මෙම නිවසෙහි වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් පමණ වේ. වත්මන් රජය යටතේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් ලබා දුන් 23 වන නිවස මෙය වේ. පුත්තලම, හලාවත, අඹකඳවිල පදිංචි, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාව 2018 වසරේ ආජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 2000 බාධක දිවීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි. මීට අමතරව ඇය මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත.

    එමෙන්ම ඇයගේ ක්‍රීඩා පුහුණුකරු වන ජනිත නදීශාන්ත ජයසිංහ මහතාට සහ ඇයගේ සොහොයුරු ක්‍රිෂාන්ත පැතුම් මහතාට නිවාස ඉදිකර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත අබේසේකර, හෙක්ටර් අප්පුහාමි සහ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බර්නාඩ් වසන්ත, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ශාන්ත කහවල යන මහත්වරුද එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya