අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිලෙන් නත්තල් තෑග්ගක්

    දෙසැම්බර් 26, 2018

    සංචාරක ඉන්දීය ක්‍රිකට් පිල සමග අද (26) මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු පිලේ සමනායකයා ලෙස හෘද රෝගී 7 හැවිරිදි දරුවකු වන ආචි ස්චිලර් අවස්ථව ලබාදීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු වයසක නොසිටින මේ දරුවාට එවැනි ගෞරවයක් සහ සතුටක් ලබාදීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කළේ ඔහුගේ රෝගී තත්ත්වය සැළකිල්ලට ගනිමින් සුබසාධන කටයුත්තක් ලෙසිනි. එවැනි සුබසාධන කාර්යයකට ජාතික ක්‍රිකට් කණ්ඩායමක් දායකත්වය ලබාදෙන ලොව පළමු අවස්ථාව මෙය වේ.

    දැඩි ක්‍රිකට් ලෝලියකු වන මේ දරුවා දුර්ලභ හදවත් රෝගයකට ගොදුරුවී සිටින අතර තෙමස් හැවිරිදි වියේදී මේ රෝගයට මුහුණපෑමෙන් පසුව සැත්කම් ගණනාවකට භාජනය විය. ජීවිතයත්, මරණයත් අතර සටනක නිරතව සිටින මේ දරුවාගේ අනාගත බලාපොරොත්තුව වී තිබුණේ කෙදිනක හෝ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ නායකත්වයට පත්වීමටය. ‘මේක් අ විෂ්‘ ඔස්ට්‍රේලියානු පදනම හරහා ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමෙන් පසුව ඔහුගේ රෝගී තත්ත්වය සැළකිල්ලට ගනිමින් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කළේ පසුගිය මාසයේදීය.

    ජාතික ටෙස්ට් කණ්ඩායමට කැඳවීමේ අනපේක්ෂිත දුරකතන ඇමතුම ඔහුට ලැබුණේ පසුගිය මාසයේ දී ඔස්ට්‍රේලියානු පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පාකිස්තානය සමග ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කරමින් සිටින අතරතුරදීය. එම ඇමතුම කුඩා ආචිට ලබාදුන්නේ කණ්ඩායමේ පුහුණුකරු ජස්ටින් ලැන්ගර් විසිනි. ඉන් පසුව ඔහුට ඉන්දියාව සමග ඇඩිලේඩ් නුවර පැවැති පළමු ටෙස්ට් තරගයට පෙර ඔස්ට්‍රේලියානු පිල සමග පුහුණුවීම්වලට සහභාගිවීමට ද අවස්ථාව උදාවී තිබිණි.

    හෙට ඇරැඹෙන ටෙස්ට් තරගයේදී ආචි සමනායකත්වයේ කටයුතු කරන බවට නිල නිවේදනය පෙරේදා යාරා උද්‍යානයේ පැවැති උත්සවයකදී ඔස්ට්‍රේලියානු පිලේ නායක ටිම් පේන් ප්‍රකාශ කළේය. එම උත්සවයට ඔස්ට්‍රේලියානු පිලේ සියලුම ක්‍රීඩකයන් ද, ඉන්දීය පිලේ නායක විරාත් කෝලි ඇතුළු කණ්ඩායම ද සහභාගි වී සිටියහ. මේ කුඩා දරුවාගේ 7 වැනි උපන්දිනය ද එදිනට යෙදී තිබීම විශේෂත්වයක් විය.

    සිය පවුලේ සාමාජිකයන්ගේ දුක් සුසුම් මැද ඉතා අසීරු කාලසීමාවක් ගෙවා දමමින් සිටින ආචි හෙට තරගයේදී ඔස්ට්‍රේලියානු පිලේ සමනායකයා ලෙස කටයුතු කිරීමට තෝරාගැනීමෙන් ආචි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පමණක් නොව සමස්ත ඔස්ට්‍රේලියානු කණ්ඩායමත්, ඉන්දීය කණ්ඩායමත් අධික සතුටට පත්වී ඇතැයි ඔහු කීවේය.

    ‘සමහර වෙලාවට අපේ ජීවිත රටාව හොඳ තත්ත්වයෙන් තිබෙන්න පුළුවනි. ඒත් ජීවිතය සතුටින් ගත කිරීමට නොහැකි අවස්ථාවන්ද එළැඹෙනවා. එවැනි මොහොතක කවුරුහරි අපව දිරිගන්වනවානම් ඒක ලොකු දෙයක්. ආර්චි හෙට පළමුවතාවට ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරනවා. ඒක අපිට විශාල සතුටක්.‘ ටිම් පේන් එසේ කීවේය.

    අන්තර්ජාලයේ ඇතැම් වාර්තාවල සඳහන් වන්නේ දඟපන්දු යැවීමට හපන් මේ කුඩා දරුවා හෙට තරගයේදී ඔස්ට්‍රේලියානු පිලේ සුපිරි දඟපන්දු යවන්නා වන නේදන් ලියොන් සමග පන්දු යැවීමේ නිරතවනු ඇති බවකි. කුඩා දරුවාට ඔහුගේ ජිවිතයේ අමතක නොවන සිහිවටනයක් ලබාදෙමින් සිය කඩුල්ල ඔහු හමුවේ පරිත්‍යාග කිරීමට ලොව නොම්මර එකේ පිතිකරු ඉන්දීය පිලේ නායක විරාත් කෝලි දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි තවත් වාර්තාවකින් කියැවේ. එසේ වන්නේ නම් 7 හැවිරිදි ආචි ස්චිලර් එතෙක් මෙතෙක් ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ ළාබාලතම ක්‍රීඩකයා මෙන්ම ළාබාලතම නායකයා ලෙස කිසිවකුටත් බිඳ දැමිය නොහැකි වාර්තාවක් අත්කර ගනු ඇත. එය කෙසේ වුවත් ආචි ස්චිලර් නිසාම හෙට ඇරැඹෙන ඔස්ට්‍රේලියා - ඉන්දීයා ටෙස්ට් තරගය ලොව වඩාත්ම අවධානය දිනාගන්නා තරගය බවට පත්වනු ඇතැයි ඉඳුරාම පැවැසිය හැකිය.

    අද තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු පිල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියේ සඳහන් වූයේ මේ කුඩා දරුවාගේ නමත් සමගය. එය ලොවම විස්මයට පත් කළ සිදුවීමකි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya