අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදයක්

    ඔක්තෝබර් 19, 2018

    විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදය, ආසියා, අප්‍රිකා, මැද පෙරදිග, ලතින් ඇමෙරිකා හා ඕස්ට්‍රලේෂියා යන කලාපවලට අයත් රටවල් 23ක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්  පසුගිය දා ආරම්භ විය.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ වැඩසටහනේ කොටසක් ලෙස සති දෙකක් පුරා පැවැත්වෙන මෙම සංවාදය, ‘ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක්’ ලෙස හා වෙළෙඳ, ආයෝජන හා සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ වර්ධනයට විශේෂ අවධානයක් යොමු කරමින් මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව අවධානය යොමු කරනු ඇත. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සන්නාම, ව්‍යවසායකත්වය මෙන්ම පර්යේෂණ හා නවෝත්පාදන අංශවල තබා ඇති වැදගත් ඉදිරි පියවරද මෙම සංවාදයේදී විදහා දැක්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ ඉසුරුමත් ඉතිහාසය සහ සංස්කෘතිය, ජාත්‍යන්තර දේශපාලන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දරන ස්ථාවර ඇතුළු එහි විදේශ ප්‍රතිපත්තිය මෙන්ම යහපාලනය, තිරසර සංවර්ධනය, තොරතුරු දැනගැනීමේ අයිතිය, සමාජ මාධ්‍ය හා සයිබර් ආරක්ෂාව යන තේමාත්මක අංශද මෙහිදී විමසා බැලේ. මෙම සංවාදයට ශ්‍රී ලංකාවේ මුල් පෙළේ රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, විද්‍යාඥයන් හා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සහභාගීවනු ඇති අතර මෙම සාකච්ඡාවලින් අනතුරුව දින තුනක ක්ෂේත්‍ර චාරිකාවක්ද සිදු කිරීමට නියමිතය.

    සංවාදයට සහභාගීවන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු සැසි වාරය ආරම්භයේදී විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා බැහැදුටුවහ. ඔවුන් පිළිගත් විදේශ කටයුතු අමාත්‍යවරයා ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය ඵලදායී හා සුඛදායක එකක් වේවායි සුබ පැතීය.

    සංවාදය ආරම්භ කරමින් කතා කළ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකාව සෑම විටම විවිධ සංස්කෘතීන්, ජාතීන් මෙන්ම විවිධ ආගම්වල සංකලනයක්ව පැවැති බවත්, එහි උපායමාර්ගික භූගෝලීය පිහිටීම අතීතයේ සිටම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ කැපී පෙනෙන රටක් බවට පත්කිරීමට ඉවහල් වූ බවත් පැවසීය. ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාවල විකාශනය සහ ඉතිහාසය පුරා මෙරට මුහුණදුන් අභියෝග ගෙනහැර දක්වමින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දැනුම් මධ්‍යස්ථානයක් බවට පත්වීම සඳහා සුදුසුවී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරි දැක්මක් ඇතිව කටයුතු කරන ලෙසටත් කලාපය තුළ හා ලෝකයේ ඇතිවන අනාගත ප්‍රවණතාවන් හා ඒවාට මුහුණ දෙන ආකාරය සාමූහිකව සොයාබලන ලෙසටත් විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දිරිමත් කළ රාජ්‍ය අමාත්‍යවරයා ඔවුනොවුන් අතර සහ සිය ශ්‍රී ලාංකික සගයන් සමඟ පවත්වන සාකච්ඡා ඒ සඳහා ඉවහල් කර ගන්නා ලෙස පැවසීය.

    රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇමතූ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩ බලන ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සඳහන් කළේ ඔවුන් මෙම සංවාදයට සහභාගී විම අදාළ රාජ්‍යයන් ශ්‍රී ලංකාව සමඟ පවත්වන සබඳතාවල වැදගත්කම පිළිඹිබු කරන බවයි. මෙම සංවාදය හරහා වර්තමානයේ පවතින බොහෝ දේශපාලන ආර්ථික සහ සමාජ අභියෝගයන් හමුවේ  තමන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාව ඔවුන් වෙත තොරතුරු වාර්තා කරනවා පමණක් නොව, එකී විෂයයන් සම්බන්ධයෙන් අදාළ රටවල් හා කලාපයන්ද තම දෘෂ්ටිකෝණ පිළිබඳව කරුණු දන්වනු ඇතැයිද ඒ මහතා විශ්වාසය පළ කළේය. ඔවුන් වෘත්තීය සහ පෞද්ගලික මට්ටමින් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීම, ඔවුන්ගේ රටවල පිහිටි සහ ඒවාට අක්ත ගැන්වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල අදාළ රටවල් සමඟ පවත්වන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට දරන වෑයමට මහත් රුකුලක් වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

    ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ වැඩසටහන යටතේ, මෑතකාලීන ආර්ථික ප්‍රවාහයන්ගේ රටා සහ ඉලක්කගත වෙළෙඳපොළවල විභවයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සෑම දූත මණ්ඩලයක් සඳහාම අපනයන, ආයෝජන, සංචාරක සහ විදේශ රැකියා යන ක්ෂේත්‍ර සඳහා විශේෂ කාර්ය සාධන ඉලක්ක සකස් කර ඇත. මීට අමතරව, රේඛීය අමාත්‍යාංශ සහ පෞද්ගලික අංශය සමඟ එක්ව, නැගී එන වෙළෙඳපොළවල් සහිත රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 10 කට ශ්‍රී ලංකාවේ ගෝලීය සලකුණ ඉහළ නංවමින් ප්‍රත්‍යක්ෂ ආර්ථීක වාසි ලබාගැනීම සඳහා ඉලක්කගත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මේ හරහා සහයෝගය ලබාදෙයි. තොරතුරු තාක්ෂණ නිපැයුම් සහ සේවා මෙන්ම කාබනික ආහාර නිෂ්පාදන ස්වීඩනයේද, ඇඟලුම්, රෙදිපිළි සහ පාවහන් නිෂ්පාදන දකුණු අප්‍රිකාවේද , නැවුම් සහ සකස් කළ ආහාර බහරේනයේද, මැණික් හා ස්වර්ණාභරණ තුර්කියේද, කුළුබඩු සහ ඇඟලුම් බ්‍රසීලයේද, සුවතා සංචාරක කටයුතු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද, අභ්‍යන්තර ආයෝජනය කොරියානු ජනරජයේ සහ ජපානයේද, බාහිර ආයෝජනය මියන්මාරයේ හා නේපාලයේද ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් මේ වන විට ආරම්භ  වී තිබේ.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ග්‍රේස් ආශිර්වාදම් මහත්මිය සහ අතිරේක ලේකම් / ද්විපාර්ශ්වික කටයුතු සුමිත් නාකන්දල මහතා ආරම්භක සැසිවාරයට සහභාගි වූහ. බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය සමඟ සහයෝගයෙන් මෙම සංවාද වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා  ‘විකාශනය වන ආසියානු ආර්ථික දෘෂ්ටිය සහ ඉන් ශ්‍රී ලංකාවට ඇතිවන ගම්‍යාර්ථ ‘ යන මැයෙන් ආරම්භක දේශනය පැවැත්වීය. බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් පැමලා ජේ. ඩීන් මහත්මිය  සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර  සහ තාක්ෂණික සහයෝගීතා අංශයේ අධ්‍යක්ෂ කපිල ෆොන්සේකා මහතාද සභාව ඇමතූහ.

    ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, භූතානය, බ්‍රසීලය, චීනය, කියුබාව, ඊජිප්තුව, ඉන්දියාව, කෙන්යාව, මැලේසියාව, මාලදිවයින, මොංගෝලියාව, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය, පලස්තීනය, සෙනෙගාලය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වියට්නාමය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු මෙම සැසිවාරවලට සහභාගී වෙති.

     

    source-MFA

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya