මෙම විගණනය නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිය අමාත්‍යංශ ලේකම්වරයා වෙත හා එහි ප්‍රධාන ගණකාධිකාරවරයා වෙත කර ඇති නියෝගයක් පරිදි ක්‍රියාත්මක කෙරේ.
ලෝක ප්‍රකට ජාත්‍යන්තර විගණන ආයතන දෙකක් වන "අර්නස්ට් ඇන්ඩ් යං" (Earnst & Yong)සහ "ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස්" (Price Waterhouse Coopers)යන සමාගම් වෙත අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෞද්ගලිකව කරන ලද ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් එම සමාගම් විසින් සාමුහික සමාජ වගකීම් හා සත්කාරක සේවාවක් ලෙස ශ්‍රී ලංකා රජයට කිසිදු බරක් නොවන පරිදි මෙම විගණන කටයුතු සම්පූර්ණයෙන් ම නොමිලයේ සිදු කිරීමට නියමිතය.
ඒ අනුව නිවාස අමාත්‍යංශයට අයත් විගණන කටයුතු "අර්නස්ට් ඇන්ඩ් යං" (Earnst & Yong) සමාගම විසින් ද සමෘද්ධි අමාත්‍යංශයට අයත් විගණන කටයුතු "ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස්" (Price Waterhouse Coopers) සමාගම විසින් ද සිදු කරනු ඇත.
නිවාස අමාත්‍යංශය යටතේ එම අමාත්‍යංශය, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සහ රජයේ කර්මාන්ත ශාලාව යන ආයතන 03ද, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සහ ඕෂන් විව් සංවර්ධන ආයතනය යන අධිකාරීන් 04ද, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා රාජ්‍ය සංවර්ධන ඉදිකිරීම් නීතිගත සංස්ථාව සහ ඉදිකිරීම් අභ්‍යාස සංවර්ධන ආයතන යන සංස්ථා 03ද ඇතුළත් ව මෙම විගණන කටයුතු සිදු කෙරේ.
සමෘද්ධි අමාත්‍යංශය යටතේ සමෘද්ධි කොමසාරිස් දෙපාර්තමේන්තුව, උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව මෙන් "දිවි නැගුම" යටතේ පැවැති ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය, ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය සහ උඩරට සංවර්ධන අධිකාරිය යන දෙපාර්තමේන්තු සහ ආයතන විගණනය කෙරේ.
2014 ජනවාරි මාසයේ දී එම ආයතන සියල්ල එක්කොට "දිවි නැගුම" සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපනය කොට තිබේ. දිවයින කලාප 06කට බෙදා එහි කටයුතු පවත්වාගෙන ගොස් ඇති අතර ඉහළ ම මූල්‍ය විධමාචාර ප්‍රමාණයක් සිදු වී ඇත්තේ මෙම දෙපාර්තමේන්තුව යටතේ බව වාර්තා වේ.
යහපාලනයට කිසිසේත් නොසැසදෙන පරිදි ඉකුත් පාලන සමයේ දී සිදු වී ඇති බරපතල මූල්‍ය වංචා, දූෂණ හා ඒවාට සම්බන්ධ පුද්ගලයන් හෙළිදරව් කර ඒ සම්බන්ධ නීතිමය පියවර ගැනීම මෙන් ම, ඉදිරියේ දී විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම තහවුරු කරමින් පොදු දේපොළ හා සම්පත් රටේ සංවර්ධනය හා දුප්පත්කම තුරන් කරලීම පිණිස යොදවා රටට වාසිදායක අගයක් එකතුකිරීමට දායකත්වයක් ලබාදීම මෙම විගණනයේ මූලික අරමුණ වේ.
DB