නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවතැන්වූවන් හා සරණාගත වැසියන් නැවත පදිංචි කිරීමට ප්‍රමුඛත්වය

    ජනවාරි 23, 2015
    ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සහ මෙරට සුභ සාධන මධ්‍යසථාන ඇතුළු සිය ඥාතිහිතමිත්‍රාදීන් සමඟ සිටින අවතැන් වූ පිරිස් නැවත පදිංචි කිරීම දින 100 වැඩසටහනෙහි ප්‍රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන බව නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණය හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා ප්‍රකාශ කරයි.
    අමාත්‍යවරයා මේ අදහස් පළ කර සිටියේ ඊයේ (22) එක්සත් ජාතීන්ගේ සරණගාතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලයේ මෙරට නියෝජිත එම්. ගෝලම් අබ්බාස් සහ ජ්‍යේෂ්ඨ ආරක්ෂක නිලධාරී ඉගෝර් අයිවන් කික් යන මහත්වරුන් හමු වූ අවස්ථාවේ දීය.
     
    මෙරට සහන මධ්‍යස්ථාන ඇතුළුව සිය ඥාතිහිතමිත්‍රාදීන් සමඟ සිටින පිරිස් සහ දැනට මෙරටින් බැහැරව ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින පිරිස් නැවත ඔවුන්ගේ මුල් ගම් බිම්වල නැවත පදිංචි කිරීම, ඔවුනට අවශ්‍ය පහසුකම් සැලසීම හා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
    අවතැන් වී ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටින ලක්ෂයකට ආසන්න පිරිස සහ ශ්‍රී ලංකාවේ සුභ සාධන මධ්‍යස්ථාන ඇතුළුව සිය ඥාතිහිතමිත්‍රාදීන් සමඟ සිටින පවුල් 7,840කට අයත් පුද්ගලයන් 26,056ක් නැවත පදිංචි කිරීම සහ ඔවුනට අවශ්‍ය පහසුකම් සපුරාලීම රජයේ කාර්යභාරය බව අමාත්‍යවරයා මෙහි දී පවසා සිටියේය.
     
    රජයේ නැවත පදිංචි කිරීමේ වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමටත්, ඒ සඳහා අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ලබා දීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් මෙහි දී එකඟ විය.
     
    එමෙන්ම නැවත පදිංචි කළ ජනතාවගේ ප්‍රජා මූලික කටයුතු යටිතල පහසුකම් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය සහයෝගය ලබා දීමට ද එම නියෝජිතයන් මෙහි දී එකඟතාවය පළකරනු ලැබීය.
     
    ඉන්දියාවේ සරණාගත පිරිස් මෙරටට පැමිණ සිය මුල් ගම් බිම්වල නැවත පදිංචිවීම උනන්දු කරවීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට පවතින සාමය, සංවර්ධනය සහ සහජීවනය පිළිබඳ ව එම පිරිස් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
     
    නැවත පදිංචි කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ සහයෝගය ලැබෙන අතර එහි දී ජාතික ආරක්ෂාවට ගැටලුවක් නොවන පරිදි නැවත පදිංචි කිරීම හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බව අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ ලේකම් රංජනී නඩරාජාපිල්ලේ මහත්මිය සහ අතිරේක ලේකම් එම්. නයිමුදීන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya