නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනන්දයේ සත්මහල් ගොඩනැගිල්ලට මුල්ගල් තබයි

    ජනවාරි 02, 2015
    කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ දී එම විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.
     
    මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී විය.
     
    සිංහල බෞද්ධ අධ්‍යාපනය මල් පල ගැන්වීම සඳහා මීට වසර 128ට පෙර ආරම්භ කරන ලද ආනන්ද විද්‍යාලය එදා සිට මේ දක්වා අප මාතෘ භූමියේ සේවය සඳහා ඉතා විශිෂ්ට ගණයේ පුද්ගලයන් දැයට දායාද කළ ආයතනයක් වන අතර මේ වන විට සිසු දරුවන් 6,000කට අධික ප්‍රමාණයකට අධ්‍යාපනය ලබාදෙන ආයතනයකි.
     
    මෙම විද්‍යාලයේ දීර්ඝ කාලීන අවශ්‍යතාවක් ව පැවති මෙම සත්මහල් ගොඩනැගිල්ල පාසැල් කළමනාකරණය, ආදි ශිෂ්‍ය සංගමය, ඇතුළු ආදි ශිෂ්‍යයන් හා දෙමව්පියන්ගේ ඉල්ලීම මත පංති කාමර හා වෙනත් පහසුකම්වලින් සමන්විත ව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිකිරීමට කටයුතු සලසා ඇත.
     
    ආරාධිත අමුත්තන්ගේ පැමිණීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මෙම නව ගොඩනැගිල්ල සඳහා ආරාධිතයන් විසින් මුල්ගල් තැබීම සිදු කරන ලද අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තනන ලද සමරු ඵලකය ද ප්‍රධාන ආරාධිතයන් විසින් නිරාවරණය කරන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා, ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු භවතුන්, ආදි ආනන්දීයන්, දෙමාපියන් හා වර්තමාන සිසු දරුවෝ ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya