අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩා විඳින ජනතාවට සපයන සහන ගැන නිලධාරීන් සපයන වාර්තා අමූලික බොරු

    අගෝස්තු 08, 2014
    නියඟය නිසා පීඩාවෙන් ඉන්න ජනතාවට, පිපාසයට වතුර ටිකක් ඉල්ලන ජනතාවට ලබාදෙන පහසුකම් පිළිබඳව නිලධාරීන් සපයන වාර්තා සහමුලින්ම අමූලික බොරු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් ප‍්‍රකාශ කළේ පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේ පැවති පොලොන්නරුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත පක්ෂ සම්මේලනයට සහභාගී වෙමිනි. 

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. ඔබ, අප තමුන්නාන්සේලා මේ නියෝජිත සමුළුව සුදානම් කළා වගේ ම මුළු රට පුරා දීප ව්‍යාප්තව මෙම වැඩසටහන, වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වෙනවා. අප ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ හදාගන්නා විට අද ඔබේ, අපේ හෘද සාක්ෂිය, පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ හෘද ස්පන්දනය, තමුන්නාන්සේලාගේ පපුව කථා කරන්නේ කුමක් සඳහා ද, අනුරාධපුර, රජරට, ත‍්‍රිකුණාමලය, අම්පාර මේ ප‍්‍රදේශවල ජනතාවගේ හෘද ස්පන්දනය තුළ පවතින්නේ මේ අයහපත් දේශගුණයත් සමඟ ඔවුන්ගේ ආර්ථිකයට මුහුණදෙන්නේ කොහොමද කියන එක පිළිබඳවයි.  

    ජල හිඟය බරපතළ ප‍්‍රශ්නයක්. ගොවිතැනට ජලය නැහැ. බීමට ජලය නැහැ. පොලොන්නරු දිස්ත‍්‍රික්කයේ පරාක‍්‍රම සමුද්‍රයේ ජනතාවට යම් අස්වැසිල්ලක් ලැබුණත් මේ ප‍්‍රදේශයේ අනෙක් සියලුම ජනතාවගෙන් 25%ක් වත් තමන්ගේ ගොවිතැන් කටයුතු පිළිබඳ සතුටින් නැහැ. මේ දිස්ත‍්‍රික්කයේ ගොවි ජනතාවගෙන් 75%ක් ඉන්නේ දැඩි වේදනා සහගතව, දුක් සහිතවයි. ඔවුන් හිතන්නේ ඉදිරි මාස කිහිපය අපේ දරුවෝ එක්ක කොහොමද ගත කරන්නේ කියලයි. මැදිරිගිරියේ කුඹුරකින් වී බුසලක්, දෙකක් කරලා තියෙනවා. වැලිකන්ද, දිඹුලාගල, තත්ත්වයත් එහෙමයි. අද දවසේ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද කියා අප කල්පනා කළ යුතුයි.
      
    මම පොලොන්නරුවේ නියඟයෙන් පීඩාවිඳින ජනතාව ජීවත්වන ගම්මානවලට ගියා. ඒ ජනතාවගේ බීමට ගන්නා ජල තත්ත්වය කොහොමද කියලා ඇහුවාම අපේ ඉහළ ඉඳලා පහළට එනකම්ම නිලධාරී මහත්වරුන් කියන්නේ ප‍්‍රශ්නයක් නැහැ අප වතුර දෙනවා, වතුර බෙදනවා, බවුසර් මෙච්චර යනවා කියලා. මේ පිළිබඳව නිලධාරීන් සපයන වාර්තා සහමුලින්ම අමූලික බොරු කියලා මම පැහැදිලිව කියනවා. මම මිල්ලනට ගියා මම යනකොට කිලෝ මීටරයක් දුරට කළගෙඩි, ප්ලාස්ටික් කෑන්, තියාගෙන බලාගෙන ඉන්නවා බවුසරයක් එනකම්, මම ඔක්කොම නිලධාරීන් එක්ක ගියේ. රජයේ ප‍්‍රධාන නිලධාරීන්, ඒ ප‍්‍රදේශයේ පක්ෂවල නිලධාරීන්, මම ඒ ජනතාවගෙන් ඇහුවා දවසකට බවුසරේ කී සැරයක් එනවා ද කියලා, ඒ ජනතාව මම දිහා බලාගෙන හිටියා ප‍්‍රශ්නාර්ථයකින්. මං ඇහුවාම ඔවුන් පැවසුවේ සුමානෙකට එක දවසක් එනවා කියලා. පැලටියාවට ගිය විට ඔවුන් කිව්වේ ආපු දවසක් නම් මතක නැහැ කියලා. බෝඅත්ත ප‍්‍රදේශයට ගිය විට මුළු ගමේම අසරණ ජනතාව වැවට බැහැලා වැව සුද්ද කරනවා. විශේෂයෙන්ම මේ දිස්ත‍්‍රික්කයේ සහෝදර මැති ඇමැතිතුමන්ලා ඇතුළු සියලු දෙනාගෙන්ම මා කරන විවෘත ඉල්ලීම හා ආයාචනය වන්නේ අද දවසේ අසරණ ජනතාවගේ ගම්වල තියෙන මේ ප‍්‍රශ්නයට මීට වඩා කැපවෙන්නයි කියන එකයි. 

    සංවර්ධනය කියලා කියන්නේ පාර කාපට් කරන එකයි, පාසලේ ගොඩනැගිලි හදන එකයි, ගමට ලයිට් දෙන එකයි. බෝක්කු පාලම් හදන එකයි විතරක් නොවෙයි. සදාචාර සම්පන්න සමාජයක මිනිසුන්ට යහපත්ව ජීවත්වන්නට තියෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විදිහට අපේ බලාපෙරොත්තුව ඊළඟ පිම්ම මේ සදාචාර සම්පන්න සමාජයක් බිහිකිරීමේ කාර්යයට ප‍්‍රමුඛ කාර්යයක් ලෙස අත ගැසීමයි. සංවර්ධනය පිළිබඳ අද බොහෝ අය සතුටු වෙනවා. වර්තමානයේ ස්වභාවධර්මය පිළිබඳ ප‍්‍රශ්න ඇවිල්ලා තියෙනවා. නියඟය එයින් එකක්. ස්වභාවධර්මය පරාජය කරන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. ආණ්ඩුවට තියෙන්නේ ජනතාව සමඟ එයට මුහුණදෙන එක. මේ සියලුදෙනා එකතු වෙලා මේ මොහොතේ මේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්නට ඕනෑ යැයි ද ප‍්‍රකාශ කළේය.   

    මෙම අවස්ථාවට මහාමාර්ග, වරාය හා නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති නියෝජය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඇතුළු පක්ෂ නියෝජිතයෝ රැසක් සහභාගි වී සිටියහ. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya