මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටුව දුම්රියපොළ, ලිප්ටන් වට රවුම පැදකුණු කරන උපාධිධාරීන් බිහි කළ යුගය අවසන්

    අගෝස්තු 03, 2014

    අධ්‍යාපනය තුළ ශිෂ්‍යායාට තිබෙන දේ ගන්න පුළුවන් ක‍්‍රමය වෙනුවට, අවශ්‍ය දේ ගන්න පුළුවන් ක‍්‍රමය නිර්මාණය විය යුතුයි. කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මාර්ගය, ලිප්ටන් වටරවුම, පැදකුණු කරන උපාධිධාරීන් නිර්මාණය කළ යුගය අද අපි අවසන් කර තිබෙන බව. යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (02) අනුරාධපුරයේදී ප‍්‍රකාශ කළේය.


    ප‍්‍රතිනිර්මාණය කරන ලද, ජාතික තරුණ සේවා සභාවේ අනුරාධපුර යොවුන් නිකේතනය විවෘත කිරීම සහ අනුරාධපුර දිස්ති‍්‍රක් යෞවන සම්මාන උළෙල නිමිත්තෙන් පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

    අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ කීය.

    යෞවන සම්මානයෙන් පිදුම් ලබන, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියලු දූ පුතුන්ට රාජ්‍යයේ ගෞරවය පුද කරනවා. අද ප‍්‍රතිනිර්මාණය කර විවෘත කරන යොවුන් නිකේතනයේ ඉදිකිරීම් ආරම්භක අවස්ථාවේ සිට මේ දක්වා වෙහෙස වී කටයුතු කළ සියලු දෙනාට ස්තූතිය පුද කරනවා. අතිගරු ජනාධිපතිතුමා අනුරාධපුරයට පැමිණි අවස්ථාවක මේ ස්ථානයට පැමිණ මෙම යොවුන් නිකේතනය රංග ශාලාවක් සහිතව නැවත ප‍්‍රතිනිර්මාණය කරන ලෙස ලබා දුන් උපදෙස් අපට ලැබුණා.


    යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස මම රාජකාරි බාර ගන්නේ 2010.අපේ‍්‍රල් මස 23 වැනිදායි. ඊට පසුව වැඩ බාර ගත් තරුණ සේවා සභාවේ සභාපතිතුමා යෞවන සමාජ ව්‍යාපාරය අධ්‍යයනය කරලා මට දීපු පිළිතුර අදත් මට මතක් වෙනවා. අනුරාධපුරය සහ කුරුණෑගල දිස්ත‍්‍රික්, යෞවන සමාජ ව්‍යාපාරයේ හදවත බව එතුමා ප‍්‍රකාශ කළා. එය අද මා ප‍්‍රකාශ කරන්නේ අනුරාධපුරයේ තරුණ්‍යයට ගෞරවයක් ලෙසයි. යෞවන සමාජ ව්‍යාපාරයේ හදවත ලෙස හඳුන්වන අනුරාධපුරය, ඔබේ දිස්ත‍්‍රික්කයේ යෞවන සමාජ 697ක් කි‍්‍රයාත්මක වෙනවා. ඒ තත්ත්වය අනුරාධපුරයට කැන්දාගෙන ආ වැව්බැදි රාජ්‍යයේ යෞවන යෞවනියන්ට, යොවුන් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට, තරුණ සේවා සභාවේ සියලු දෙනාට ගෞරවය පුද කරනවා.


    එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යතුමා ඇතුළු අනුරාධපුර දේශපාලනඥයින් කළ ඉල්ලීමක් මත අනුරාධපුරයේ සියලු ක්ෂේත‍්‍ර නිලධාරීන්ට යතුරු පැදි ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කළා. නමුත් කුමන හෝ හේතුවක් මත එම ලැයිස්තුවට තරුණ සේවා සභාවේ නිලධාරීන් ඇතුළත් වූයේ නැහැ. ක්ෂේත‍්‍ර 42ක පිරිසක් පමණයි, ඇතුළත් වී තිබුණේ. තරුණ සේවා සභාවේ සභාපතිතුමා මට ඒ පිළිබඳව දැනුම් දුන්නම ජනාධිපතිතුමා දැනුවත් කර තරුණ සේවා සභාවේ ක්ෂේත‍්‍ර නිලධාරීන් ඒ ලැයිස්තුවට ඇතුල් කිරීමට කටයුතු කළා. 


    යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස මාගේ වසර 5ක කාලය තුළත්, පොදුවේ 2005න් ආරම්භ වූ කාලය තුළත්, මේ රටේ තාරුණ්‍යය ලෙස ඔබ ලබා ගත් ජයග‍්‍රහණයන් පිළිබඳවත් කෙටියෙන් හෝ සාකච්ජා කළ යුතුයැයි මම විශ්වාස කරනවා. ලාංකේය ඉතිහාසයේ පළමු වතාවට අපි ජාතික තරුණ ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත්කළා. එහි කි‍්‍රයාකාරී සැලැස්ම මේ වන විට ගොඩනැගෙමින් තිබෙනවා. පසුගිය මැයි මාසයේ ලෝක තරුණ සමුළුව ලංකාවේ පැවැත්වූවා. ලෝක තාරුණ්‍යයට අතිශය වැදගත් එහි අවසන් ලියවිල්ල ‘‘කොළඹ ප‍්‍රකාශනය’’ ලෙසින් එළි දැක්වූවා. 


    1936 ස්විට්සර්ලන්තයෙන් ආරම්භ කර 2010 මෙක්සිකෝවේ පැවති තරුණ සමුළුව දක්වා ප‍්‍රතිපත්ති සම්පාදකයන් සහ තරුණයන් වෙන් වෙන් වශයෙන් අවසන් ප‍්‍රකාශන දෙකක් එළි දක්වා තිබෙනවා. නමුත් පසුගිය තරුණ සමුළුවේ ප‍්‍රතිපත්ති සම්පාදකයින් සහ තරුණයින් එකට ඉඳලා එක ලියවිල්ලක් ප‍්‍රකාශයට පත් කළා. එවැන්නක් සිදු වුණේ ලෝක තරුණ සමුළු ඉතිහාසයේ පළමු වතාවටයි. මේ කොළඹ ප‍්‍රකාශනය ඉදිරි ශතවර්ෂයකට කෙසේ වුවත්. තවත් දශක දෙකක් වත් එය බල පැවැත්වෙන බව අපි විශ්වාස කරනවා.


    තරුණයන් රටකට බරක් හෝ කරදරයක් නොවෙයි. ඒ බව ජනාධිපතිතුමා සෑම විටම ප‍්‍රකාශ කර තිබෙනවා. අපේ රට තරුණ නැගිටීම් තුනකට මුහුණ දුන්නා. මුල් නැගිටීමට ප‍්‍රතිකර්ම ලබා දීලා ටික කාලයක් යද්දී තවත් නැගිටීමක් ඇති වුණා. එයට පිළියම් යෙදුවම තවත් නැගිටීමක් ඇති වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වේ, තවත් තරුණ නැගිටීම්වලට ඉඩ තබන්න එපා කියලයි. 2012 වර්ෂයේ සිය දිවි නසා ගත් අයගෙන් 80‍%ක් වයස අවුරුදු 16 - 30ත්  අතර අයයි. 1971 තරුණ නැගිටීමට සම්බන්ධව ආයුධ අතට ගෙන, පවතින ක‍්‍රමයට එරෙහිව සටන් කළ අයගෙන් 92.8‍% ක් තරුණයින්. එයින් 12‍%ක් ශිෂ්‍යයින්. බන්ධනාගාර ගතවූවන් ගෙන් 60%ක් හිටියේ අ.පො.ස. සා.පෙළ දක්වාවත් පාසැල් නොගිය අයයි. මේ තත්ත්වයට අධ්‍යාපනයේ තිබූ බොහෝ බෙදීම් ඉවහල් වුණා. ගණිතය පාස් නැතිනම් උසස් පෙළ කරන්න බැරි වුණා. ඉසෙඩ් ස්කෝර් අගය අඩු වුණාම විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. ඉරි ගහල අධ්‍යාපනයේ මහා බෙදීම් වෙන් කර තිබුණා. 


    කොළ පාට ආණ්ඩු යටතේ පමණක් නොවෙයි, නිල් පාට ආණ්ඩු යටතේත් මේ බෙදීම් සිද්ධ වුණා. මේ ක‍්‍රමය වෙනස් කරන ලෙස ජනාධිපතිතුමා අපිට දැනුම් දුන්නා. කඩු, කිනිසි, බෝම්බවලින් පිරුණු පාතාලය වෙනුවට යෞවනයින් වෙනුවෙන් අද අලුත් පා තාලයක් නිර්මාණය වෙමින් තිබෙනවා. නව ලොවට ගැළපෙන ආකාරයට, අලුත් බලාපොරොත්තු සහිතව ඒ පා තාලය ගොඩනගන්න අපිට පුළුවන් වෙලා තිබෙනවා. ඒ අලුත් පා තාලය වන්නේ අධ්‍යාපනය තුළ හඳුන්වාදුන් තාක්ෂණික විෂය ධාරාවයි. අධ්‍යාපනය තුළ ශිෂ්‍යායාට තිබෙන දේ ගන්න පුළුවන් ක‍්‍රමය වෙනුවට අවශ්‍ය දේ ගන්න පුළුවන් ක‍්‍රමයක් නිර්මාණය විය යුතුයි. කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මාර්ගය, ලිප්ටන් වට රවුම, පැදකුණු කරන උපාධිධාරීන් නිර්මාණය කළ යුගය අපි අවසන් කර තිබෙනවා.


    අනුරාධපුර දිස්ති‍්‍රක් යෞවන සමාජ බල මණ්ඩලයේ සභාපති, පි.බී. කසුන් එරංග මහතාද මෙහිදී කතා කළේය. 


    උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය, එස්.එම්. රංජිත් සමරකෝන්, වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය, ඩබ්ලිව්.බී. ඒකනායක, කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, වීරකුමාර දිසානායක, අනුරාධපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර, ශෙහාන් සේමසිංහ, උතරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය, එච්.බී. සේමසිංහ, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහත්වරු ද මෙම අවස්ථාව සහභාගී වූහ.


    HC/NDH

    IMG 0524

     

     

    IMG 0557 1

     

    IMG 0536

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya