මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලාබර අධ්‍යාපනයෙන් ආර්ථිකය වෙනස් වුණා

    ජූලි 30, 2014
    අපේ රටේ පවතින අධ්‍යාපන ක‍්‍රමය තුළ වැඩි වශයෙන් බිහිවන්නේ කලා උපාධිධාරීන් බවත් මේ කලාබර අධ්‍යාපනය තුළින් රටේ ආර්ථිකය වෙනස් වූ බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර, රදම්පල දී ප‍්‍රකාශ කළේය.
     
    මාතර, රදම්පල, ශ‍්‍රී සුමංගල මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමෙන් අනතුරුව ඊයේ (29) පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    "විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය විවෘත කිරීමත්, විද්‍යාලයේ සේවය කළ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සිහිපත් කිරීමටත් මේ උත්සවය පවත්වනවා. පාසැල්වල අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන් මේ ගෙනයන වැඩපිළිවෙළ ගෙනියන්න හැකිවී තිබෙන්නේ රාජ්‍ය නායකයාට ඒ වුවමනාව තිබෙන නිසයි. එසේ නැතුව අපි ඇමතිවරු වූ පමණින් ගමට ජයග‍්‍රහණ ලබාදෙන්න පුළුවන් කමක් නැහැ". 
     
    රටේ බෙදුම්වාදය අවසන් කළ රාජ්‍ය නායකයා මේ වන විට අධ්‍යාපනයේ බෙදුම්වාදයත් අවසන් කොට තිබෙන බවත් ඒ තාක්ෂණ විෂය ධාරාව පාසැල්වලට හඳුන්වාදීම තුළින් බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    "පාසල් තාප්පේ "මේ මාගේ දරුවාගේ පාසැලයි" කියලා ලියන්න හරිම ලේසියි. ලස්සනට තීන්ත ගාලා තිබෙන තාප්පවල "දණින් වැටී ජීවත් වනවාට වඩා දෙපයින් නැගී සිට මියයෑම උතුම්" කියලා ලියන්නත් ලේසියි. ලිප්ටන් වටරවුමට ගිහින්, පා ගමන් ගිහින් අධ්‍යාපනයට මෙච්චර වෙන් කරන්න කියලා කියන්නත් හරිම ලේසියි. නමුත් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම එහෙම ලේසි නැහැ. අපේ රටේ පවතින අධ්‍යාපන ක‍්‍රමය සඳහා ජාතික ආදායමෙන් 6%ක් නො ව 60%ක් වෙන් කළත් බිහිවන්නේ රැකියා විරහිත උගතුන්, 50%කට වඩා වැඩියෙන් බිහිවෙන්නේ කලා උපාධිධාරීන්, හැම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම මේ තත්ත්වය තේරුම් ගත 
    යුතුයි". 
     
    අපේ රටට ආසියාවේ ආශ්චර්යය කරා යන්න පුළුවන් මානව සම්පත සංවර්ධනය කිරීමෙන් පමණක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා අධ්‍යාපනය නව්‍යකරණය කිරීමකින් තොර ව වර්තමාන ලෝක ආර්ථිකය ජයගත හැකි මානව සම්පත නිර්මාණය කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය.
     
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර, දකුණු පළාත් සභා මන්ත‍්‍රී කංචන විජේසේකර, දික්වැල්ල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාලි මුතුකුමාරණ, විදුහල්පති විමලදාස කෝට්ටගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya