මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළා‍තේ මාර්ග ආරක්ෂණ සතිය අද සිට

    ජූලි 21, 2014
    අද (21) සිට සතියක කාලයක් තුළ මධ්‍යම පළාත තුළ මාර්ග ආරක්ෂණ සතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු යොදා තිබේ. 


    රිය අනතුරු අවම කරමින් සුරක්ෂිත මාර්ග පද්ධතියක් ශ්‍රී ලංකාවාසී ජනතාවට ලබාදීමේ අරමුණින් මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. 

     

    මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පෙ.ව. 9.00ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිල්වෙස්තර විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ඉන් අනතුරුව සතියක කාලයක් පදිකයන්, රියැදුරන් ඇතුළු විවිධ පාර්ශව ඉලක්ක කරගෙන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

    ඒ අනුව හෙට (22) මහනුවර ගුඩ්ෂෙඩ්, මාර්කට් සහ බෝගම්බර යන බස් නැවතුම්පොළවල සිට රියැදුරන් දැනුවත් කිරීම සඳහා වීඩියෝ වැඩසටහන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම දැනුවත් කිරීමට අමතරව ලබන 24 දින අරුප්පල කාර්මික විද්‍යාලයේදී සිසු සුරැකුම් දිනය නිමිති කොට ගෙන පළාතේ දරු දැරියන් රැසක් දැනුවත් කිරීමටද කටයුතු යොදා තිබේ. 

    ත්‍රිවිධ හමුදාවේ රියැදුරන් සහ රජයේ සියලුම ආයතනවල සේවය කරන රියැදුරන් වෙනුවෙන්ද රිය අනතුරු වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසට‍හනක් පැවැත්වීමටද කටයුතු යොදා ඇත. එය පොල්ගොල්ල සමුපකාර විද්‍යාලයීය ශ්‍රවණාගා‍රයේදී පැවැත්වෙනු ඇත. මාර්ග අනතුරක් සිදු වූ අවස්ථාවක තුවාලකරුවන් රෝහල්ගත කරනතුරු ලබා දිය යුතු ප්‍රථමාධාර පිළිබඳව ත්‍රීරෝද රථ රියදුරන් සඳහාද දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබේ.

     

    මෙම දැනුවත් කිරීමේ වැඩසටහන්වලට අමතරව මහජනයාට සුරක්ෂිත මාර්ග පද්ධතියක් ලබාදීමේ අරමුණින් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය කළ අංග සම්පූර්ණ ආදර්ශමත් මාර්ග දෙකක් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබීම ද විශේෂත්වයකි. ඒ අනුව ගඟවටකෝරළේ ප්‍රාදේශීය සභාවට අයත් අම්පිටිය මීකණුව මාර්ගය සහ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවට අයත් සුමනතිස්ස මාවත ආදර්ශමත් මාර්ග ලෙස නැවත පිළිසකර කොට ජනතා අයිතියට පැවරෙනු ඇත.

     

    ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන් මාලාව සඳහා මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යංශය සහ මධ්‍යම පළාත් මාර්ග ආරක්ෂණ ඒකකය එක්ව සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.

     

    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya