මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවසේ ඇති පොල් කටු අපතේ නොයවන්න

    ජූලි 18, 2014

    නිවසේ ඇති පොල් කටු අපතේ නොයවා ඉහළ ආදායමක් ලබා ගැනීමට දායක කර ගැනීමට හැකි වන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති අරුණ ගුණවර්ධන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    රට තුළ පාරිභෝජනයට ගැනෙන පොල්වලින් පොල් කටු 50%ක් පමණ දැනට පරිහරණයට නොගෙන අපතේ යැවෙන බව පෙන්වා දුන් සභාපතිවරයා තවදුරටත් පැවසුවේ, පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන සඳහා පමණක් දැනට පරිහරණයට ගැනෙනුයේ 50%ක් වැනි ප්‍රමාණයක් වන බවයි.

    දැනට පොල් කටු ආශ්‍රිතව සක්‍රීය කාබන් සහ පොල් කටු අඟුරු, පොල් කටු කුඩු නිෂ්පාදනය කෙරේ. මෙම ත්‍රිත්වයම යටතේ 2013 වසරේ ජනවාරි - මාර්තු කාලයට සාපේක්ෂව 2014 වසර තුළ අදාළ කාලයේදී 28%ක වර්ධනයක් පෙන්නුම් කළ බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන් ම 2014 වසරේ ජනවාරි - මාර්තු කාලය තුළ සක්‍රීය කාබන් අපනයනය මෙට්රික් ටොන් 9,909 දක්වා 26%ක වර්ධනයක් ද ඒ සඳහා අපනයන ආදායමේ 29%ක වර්ධනයක් ද දක්නට ලැබුණ බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.


    රට තුළ ඉල්ලුමට සාපේක්ෂව පවත්නා සැපයුම බොහෝ සෙයින් අඩු මට්ටමක පවතින බැවින් රට තුළ පොල් වගාව වර්ධනය කිරීම සඳහා පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයත්, පොල් වගා කිරීමේ මණ්ඩලයත් එක්ව දීපව්‍යාප්ත වැඩසටහන් රැසක් දැනටමත් ක්‍රියා කෙරේ.

    2011 -2013 අතර කාලය තුළ පොල් පැළ මිලියන 19ක් පමණ වගා කර ඇති බවත්, මේවායේ අස්වැන්න 2017-2018ත් අතර කාලය තුළ ලබා ගත හැකි වන බවත් සභාපතිවරයා පැවසීය. ඒ ඔස්සේ නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් කටු මෙන්ම අනෙකුත් අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකි වනු ඇති බවද සභාපතිවරයා පැවසීය.

    ජනතාවගේ නොදැනුවත්කම හේතුවෙන් වැඩි ආදායමක් ලබාගත හැකි පොල් කටු අපතේ යාම රට පුරාම දැකිය හැකි බව පෙන්වා දුන් සභාපතිවරයා පැවසුවේ ජනතාව එදිනෙදා පරිභෝජනයට ගැනෙන පොල් කටු නිෂ්පාදන ක්‍රියාවලියට යොමු කිරීම වෙනුවෙන් දැනටමත් විධිමත් ක්‍රමවේදයක් පොල් සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වා දී ඇති බවයි. එහිදී ජනතාව ළඟ ඇති පොල් කටු එකතු කිරීමේ වැඩපිළිවෙළක් ද ඒවා එම ප්‍රදේශ තුළ ම පොල් කටු අඟුරු බවට පත්කිරීමට නිෂ්පාදන ක්‍රියාවලියක් ද ඒවා අලෙවි කිරීමට අවශ්‍ය වෙළෙඳපොළද මේ යටතේ සම්බන්ධ කර දීම සිදු කෙරේ.

    පොල් කටු අඟුරු නිෂ්පාදනය කිරීම මෙතෙක් කල් සිදු කෙරුණේ විධිමත් නො වූ ක්‍රමවේදයකට වූ බැවින් ඒ හරහා විශාල පාරිසරක බාධා එල්ල වූ බවත් පෙන්වා දුන් සභාපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේ මේ හේතුවෙන් වඩාත් කාර්යක්ෂමව හා අඩු පිරිවැයකින් පරිසරයට බාධා නොවන ලෙස පොල් කටු අඟුරු නිෂ්පානය කළ හැකි උදුනක් පොල් සංවර්ධන අධිකාරිය මඟින් හඳුන්වා දී ඇති බවයි.

     මෙම උදුන මිලදී ගැනීම වෙනුවෙන් පොල් සංවර්ධන මණ්ඩලය හා මහජන බැංකුව එක් ව 6%ක ශේෂ වන පොලී අනුපාතිකයක් මත විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දී ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. දැනටමත් මෙවැනි උදුන් 25ක් පමණ දිවයින පුරා විවිධ ප්‍රදේශවල සවිකර ඇත. අවම වශයෙන් දිස්ත්‍රික්කයකට මෙවැනි උදුන් 05ක් වත් සවිකර නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රීය කිරීම තම අධිකාරියේ අරමුණ බවද සභාපතිවරයා පැවසීය.

     පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව දැනවුත් කිරීමේ වැඩසටහන් දැනටමත් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සිදු කෙරුණ බවත්, ඉදිරියේදී මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. මෙම වැඩමුළු තුළදී මහජන බැංකු නියෝජිතයින්, පොල් කටු අඟුරු මිලදී ගන්නා ආයතන හා නිෂ්පාදනකරුවන් එකට එක් කිරීමද මෙමගින් සිදුවන විශේෂ සිද්ධියක් වන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya