මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපක්ෂයක් ඉන්නේ රජයේ කාර්යන් සාධනීය ලෙස විවේචනය කිරීමටයි

    ජූලි 18, 2014
    රටක විපක්ෂයක් ඉන්නේ රජය කරන කාර්යයන් පිළිබඳ ව සාධනීය විවේචන කොට රටට යහපතක් කිරීමට බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" තේමාවෙන් දිවයින පුරා ආසන මට්ටමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන සම්මන්ත්‍රණ මාලාවේ රත්නපුර ආසන සම්මන්ත්‍රණයේදීය.
     
    මෙම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කිරීමේ මූලික අරමුණ ගෙවුණු කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය රට වෙනුවෙන් ඉටු කළ සේවයත්, එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් ගෙන යන අසත්‍ය ප්‍රචාර පිළිබඳවත්  ජනතාව දැනුවත් කිරීම සඳහාය. 
     
    " අවාසනාවකට අද ඉන්න විපක්ෂයට දේශපාලන විඥානය නෑ. අද අපේ රටේ විපක්ෂයක් නෑ. විපක්ෂයේ කාර්ය භාරය කරන්න වෙලා තියෙන්නෙත් ආණ්ඩුවටයි". 
     
    රටේ සිදුවන සංවර්ධනය පිළිබඳ ව විපක්ෂයට අවබෝධයක් නොමැති බවත් රජය පිළිබඳ ව අසත්‍ය ප්‍රචාර වපුරවමින් රටපුරා යන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ටියුනීසියාවේ, ඊජිප්තුවේ, ලිබියාවේ, කළාක් මෙන් මේ රට තුළ අරාබි වසන්ත හරහා ජනතාව වීදි බැස්සවීම ලේසි පහසු නොවන බවත් පෙන්වා දුන්නේය.
     
    ජනාධිපතිතුමා 2005 දී ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුගත වෙමින් 
     
    නොබෙදුණු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම අරමුණු කරගෙන ම්ලේච්ඡ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම ශ්‍රී ලාංකීය ජාතිය ලද මහත් භාග්‍යක් යැයි සඳහන් කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ‍නොවන්නට මේ වන විට රට කෑලිවලට කැඩුණු රාජ්‍යක්වීමට ඉඩ තිබුණු බව ද සඳහන් කළේය.
     
    "2005 ජනාධිපතිතුමා බලයට පැමිණීමත් සමඟ එතුමා ගම නගරය අතර පරතරය අවම කරන්න කටයුතු කළා.  ගම නැගුම, මඟ නැගුම, දිවි නැගුම, මේ සියල්ල ගැමි ආර්ථිකය ඉලක්ක කරගත් දේවල්. අද ගමක් ගමක් ගානේ කාපට් කළ, කොන්ක්‍රීට් කළ පාරවල්, 96% ක ජනතාවට විදුලිය දීලා තියෙනවා. අද නගරයට වැඩිය වේගයෙන් ගම දියුණු වෙනවා. මේ දේවල් කොළඹ හතේ චින්තනයට වැඳ නමස්කාර කරන උදවියට රුස්සන්නේ නෑ" යැයි අමාත්‍යවරයා පැවසීය.
     
    අද අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන් අපි රටක් විදිහට ඉහළ මට්ටමක ඉන්න බවත් මේ සියල්ල අනාගත ආයෝජන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
     
    මෙම අවස්ථාවට ඩලස් අලහපෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ද, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහත්වරුන් ඇතුළු පළාත් සභා පළාත් පාලන නියෝජිතවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya