විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේධ මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ චීන කටු චිකිත්සාව, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් සහ ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය දිශානතිය ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වර්ධනය කිරිම, වැඩිදුයුණු කිරීම සහ සංරක්ෂණය කිරීම බවත්, වයස්ගත ජනගහනය වැඩි රටක් ලෙස ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැළසීම ප්‍රමුඛ කාර්යක් බව ද පැවැසීය. එමගින් බෝනොවන රෝග රැසක් පාලනය කර ගත හැකි වනු ඇති බවද පැවැසීය.
මෙරට නිදහස ලැබීමට පෙර ජිවත්වීමේ ආයුකාලය අවුරුදු 42 ක් බවත් එය මේ වනවිට 79 දක්වා ඉහළ අගයක් ගන්නා බව ද පැවැසීය. මෙවැනි වැඩසටහන් තුලින් දීර්ඝකාලයක් ජීවත්වීමේ මඟ කියා දෙන බවත්, දීර්ඝ කාලිනව පවතින රෝග පාලනයට මෙවැනි ජංගම සෞඛ්‍ය සායන මගින් ලබාදෙන සේවාවන් ඉතා වැදගත් වන බවත් පෙන්වා දෙන ලදි.
මැතිවරණ වලදි කන්තා නියෝජනය ඉහළ නැංවීම පිළිබදව අතිගරු ජනාධිපතිතුමා දැක් වූ අදහස් පිළිබදව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජනාතිධිපතිතුමා කියා සිටියේ පළාත් සභා මැතිවරණයේ දී සියයට 25 ක කාන්තා නියෝජනයක් සදහා අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව වෙනස් කරනවා කියන කාරණය බවත්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය නිසා දැනට එවැනි යෝජනාවක් නොමැති බවත්, පළාත් පාලන ආයතනවල දැනට සැළකිය යුතු කාන්තා නියෝජනයක් සළසා දී ඇති බව ද වැඩිදුරටත් පැවැසීය.
කොළඹ ජාතික රෝහල, කොළඹ ජාතික අක්ෂි රෝහල මෙන්ම ගාල්ල කරාපිටිය රෝහල ඇතුලු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සහභාගීත්වයෙන්
පැවැත්වෙන මෙම සායනයෙන් ප්‍රථිකාර සේවාවන් ලබාගැනිම සදහා බද්දෙගම, ගුඩිලන්ඩ් වත්ත, හේනගොඩ, බංවල්ලබැද්ද , අළුත්වල, දොඩංගහවිල, ආරච්චිකන්ද, පතන ඇතුලු අවට ග්‍රාම නිළධාරී වසම්වල විශාල ජනතාවක් අද පෙරවරුව වන විට සහභාගී වී සිටියහ.
මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශණ ද සිල්වා, අම්බන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, අම්බලන්ගොඩ ආසන සංවිධායක පුෂ්පලාල් කුමාරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) හර්ශප්‍රිය සිසිර කුමාර, ගෝනපිනුවල ප්‍රාදේශීය ලේකම් එම්.එම් සප්‍රාස්, සහකාර ප්‍රාදේශීය ලේකම් නලීන්ද උදයකුමාර, මෙන්ම ප්‍රදේශවාසීන් විශාල ද පිරිසක් එක්ව සිටියහ.