මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලීන වෙනස්වීම්වලට අනුව අධ්‍යාපන ක්‍රමයත් වෙනස් වෙලා

    ජූලි 11, 2014
    රට තුළ සිදුවන කාලීන වෙනස්වීම්වලට අනුගතව අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට නිර්භය තීරණයක් ගැනීම පිළිබඳ ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ස්තූතිවන්ත වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න මහතා පැවසීය.
     
    "අද ලෝකය වේගයෙන් සංවර්ධනය වෙනවා. අද දකින ලෝකය නෙමෙයි හෙට තියෙන්නේ. මේ වෙනස්වීම සිදුකරන ගාමක බලවේගය වෙන්නේ තාක්ෂණය. මේ තාක්ෂණයට අනුගත නොවුණොත් අපිට, රටට පැවැත්මක් නැහැ. ඒ දේ අපි රජයක් විදිහට  වටහාගෙන ඉන්නවා. මෙතුවක් කල් අපි උසස් පෙළට අපේ දරුවන් යොමු කළේ විෂය ධාරාවන් 4ක් යටතේ පමණයි. ඒ ගණිත, විද්‍යා, වාණිජ, කලා  අංශ හතරෙන්. මේ අතරිනුත් විශාල දරු දැරියන් පිරිසක් කලා විෂය ධාරාවයි තෝරා ගන්නේ. ඒ තුළින් විශ්වවිද්‍යාලවලට පිවිසිම තුළින් අපි වැඩිපුර නිෂ්පාදනය කළේ කලා උපාධිධාරීන්ව. තාක්ෂණික අවශ්‍යතාවය සපුරන්නට නම් තාක්ෂණය විෂයක් ලෙස හැදෑරූ උපාධිධාරීන් රටට අවශ්‍යයි. මෙම අනාගත අවශ්‍යතා‍වයි අද අපි රජයක් විදිහට සපුරමින් ඉන්නේ".
     
    "පසුගිය දිනවල අපි උපාධිධාරින් බඳවා ගන්න අයදුම්පත් කැ‍ඳෙව්වා, අයදුම්පත් 55,000ක් විතර ආවා. මේ ආපු ඉල්ලුම් පත්‍රවලින් 90%ට වැඩිය හිටියේ කලා උපාධිධාරින්. රජයක් විදිහට අපි ඉතා අපහසුවට පත්වුණා මේ පිරිස රාජ්‍ය සේවය තුළට ඇතුළත් කර ගැනීමේදී. මොකද රාජ්‍ය සේවයේ අවශ්‍යතා සමඟ මෙම පිරිසගේ අධ්‍යාපන සුදුසුකම් ගැළපුණේ නැති නිසා. 
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි.
     
    අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ දිවයින පුරා පාසල් 1,000ක මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ඉදිකිරිමට යෝජිතය. මෙලෙස ඉදිවූ මෙම එක් විද්‍යාගාරයක් සඳහා වැය වන මුදල රුපියල් කෝටි එකහමාරකි.
     
    තාක්ෂණ විෂය ධාරාව හදුන්වාදීමත් සමඟ රටේ සංවර්ධන අවශ්‍යතාවට අවශ්‍ය මානව සම්පත රට තුළම නිර්මාණය කිරිමට බලාපොරොත්තු වන බවත් රටපුරා ඉදිවන විද්‍යාගාරවලින් ගමේ දරුවන්ට තාක්ෂණික අවබෝධය ලබාගැනීමට හොඳ ඉඩක් ලැබී ඇති බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා දරුවන්ට හොඳින් ඉගෙන ගන්න අවස්ථාව අද උදාවී පවතින බවත් අපේක්ෂා කරන ගුණාත්මක අධ්‍යාපනයේ පදනම එය බවත් පෙන්වාදුන්නේය.
     
    රට නොබෙදා නිදහස් රටක් උදා කළ ජනාධිපතිතුමාගේ අරමුණ අධ්‍යාපනය රටේ අවශ්‍යතාවයට ගැළපෙන ලෙසින් වෙනස් කිරිමට බවත් ඒ සඳහා පාසල් 1,000ක මෙම ව්‍යාපෘතිය දියත් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
     
    මේ හරහා සැමට සම අධ්‍යාපනයක් දීම තුළ දක්ෂතාව මත නිර්මාණය කෙරෙන උගතුන් රටට තිළිණ කිරිමයි අපේ රජයේ අරමුණ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, පළාත් අධ්‍යාපන අමාත්‍ය භාණු මුනිප්‍රිය, පළාත් සභා මන්ත්‍රිවරුන් වන සලිත කරුණාරත්න, ප්‍රභාත් මහේෂ් ද අල්විස්, පළාත් පාලන නියෝජිතයින්, සීවලී විදුහලේ විදුහල්පති කමල් රණසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya