මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ වෙබ් අඩවි ජාලවල වැඩකරන්න 5000ක් - තානාපති කාර්යාල හා එජාප සැලසුමක්

    ජූලි 07, 2014

    ඇමරිකානු තානාපති කාර්යාලය, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා තරුණ තරුණියන් 5000ක් පමණ බඳවාගෙන සමාජ වෙබ් අඩවි ජාල පවත්වාගෙන යාමට ඔවුන්ට වැටුප් ගෙවීමට සැරසෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හෙළිකරයි.


    මෙලෙස ආරම්භ කරන සමාජ වෙබ් අඩවි ජාල හරහා නැති මතයක් නිර්මාණය කළ හැකි බවත් මැද පෙරදිග රාජ්‍යයන් අස්ථාවර කිරීම සඳහාත් ඇමරිකාව යොදාගනු ලැබුවේ මෙම ක්‍රමවේදයම බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මොනරාගල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රතිලාභීන් 250ක් සඳහා රුපියල් මිලියන 35ක් වටිනා ජන සෙවණ නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන්  සහභාගී වෙමිනි. මෙම උත්සවය  ඊයේ (06) මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. "සමාජ වෙබ් අඩවි ජාලවල වැඩකරන්න 5000ක් ගන්නවා කියන්නේ ඒ වෙබ් අඩවි මඟින් නැති මතයක් තියෙනවා කියා පෙන්වීමට පුළුවන්කම ලැබීම. ඒ තුළින් ආණ්ඩුවට විරුද්ධව ප්‍රතිචාර දක්වන කොට  බලන  අයට හිතෙන්නේ හැමෝම ආණ්ඩුවට විරුද්ධයි කියලා. ඒත් ඒ මතය හදන්නේ අර බඳවගන්න පන්දහස. මේ පන්දහස බඳවාගැනීම තුළින් ඇමරිකානු තානාපති කාර්යාලය කරන්න හදන්නේ ශ්‍රී ලංකාවට යහපතක්ද? ශ්‍රී ලංකාවට යහපතක් කිරීමට ඇමරිකා එක්සත් ජනපදයට ඇති රුදාව මොකක්ද? මෙහෙ දැන් ඉන්න ඇමරිකානු තානාපතිනිය කියන්නේ සිරියාව අස්ථාවර කිරීමට මූලික වැඩකොටසක් කළ සිරියාවේ හිටපු තානාපතිනියයි.


    මේ හදන්නේ තියෙන ආණ්ඩුව වෙනුවට වෙනත් යහපත් ආණ්ඩුවක් හදන්න නොවෙයි. නැතිනම් තියෙන ආණ්ඩුව වැරදි නිවැරදි කරවන්න නෙමෙයි. ආණ්ඩුවේ තියෙන වැරදි දඩමීමා කරගනිමින් මැදපෙරදිග වගේ මේ රටත් අස්ථාවර කරන්න. ඔවුන් ඒ රටවලත් කළේ හිටපු පාලකයාගේ වැරදි පෙන්නලා ජනතාව උසිගන්වලා ඒ රටවල් සම්පූර්ණයෙන්ම අස්ථාවර කිරීමයි. මේ හදන්නෙත් ඒ ආකාරයටම ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමටයි. එක් පැත්තකින් මැතිවරණ නිරීක්ෂණය සඳහා මුදල් එවනවා. අනෙක් පැත්තෙන් සමාජ වෙබ් අඩවි ජාලා සඳහා මුදල් එවනවා. අනෙක් පැත්තෙන්  නීතිඥ සංගමයට  මුදල් එවනවා.  මේ අපි සඳහන් කළේ හෙළි වූ මුදල් පිළිබඳ පමණයි. තව හෙළි නොවුණු ඒවා කොයිතරම් ඇතිද?  මේ ආකාරයට බටහිර මුදල්වලට  විකිණෙන පරපුටු ජාලයක් නිර්මාණය කරලා ඒ තුළින් මේ රට අස්ථාවර කිරීමයි ඔවුන් බලන්නේ.


    මෙවන් වාතාවරණයක් පවතින අවස්ථාවක තමා මංගල සමරවීර මහත්තයා රාජ්‍ය  බුද්ධි අංශ ගැනත් කරුණු හෙළිකරන්නේ.  එතුමා කියන්නේ බුද්ධි අංශ අර මොකක්ද සේනාවකට  වැඩකරනවයි කියලා.  මම හිත්නනේ එතුමාට බුද්ධි අංශ පිළිබඳ අවබෝධයක්  නැතුව ඇති.  එහෙම ඇතිකරගත්තත් ඇතිකරගන්න තරම් එතුමාට බුද්ධියක් නැතුව ඇති.  එතුමා දන්නේ නැති වුණාට මංගල සමරවීර මහත්තයාගේ ගෙදර මුළුතැන්ගෙයිත් බුද්ධි අංශයේ කෙනෙක් වැඩකරන්න පුළුවන්.  ඒක එහෙම වුණත් පුදුමයක් නොවෙයි.  බුද්ධි අංශ කියන්නේ අන්න ඒ වගේ පිරිසක්. දැන් ඒ බුද්ධි අංශ නිලධාරියා මංගල සමරවීර මහත්තයාගේ මුළුතැන්ගෙයි වැඩකරනවා කියලා හෙළිදරව් වෙලා කවුරුහරි කෙනෙක් කිව්වොත් මංගල සමරවීරගේ ගෙදර වැඩට ඉන්නේ බුද්ධි අංශ නිලධාරීන් කියලා ඒ කියන දේ හරිද? ඒ බුද්ධි අංශ නිලධාරියා ගිහින් තියෙන්නේ මංගල සමරවීර මහත්තයාගේ ගෙදර වැඩටද? ඒ නිලධාරියා ගිහින් තියෙන්නේ කුස්සියේ වැඩකරන ගමන් මොනවද වෙන්නේ කියලා හොයන්න. ඒ ගෙදර නම් ඉතිං අලුතින් කියන්න දේවල් මුකුත් වෙන්නේ නැහැ.  හැමෝම දන්න දේවල් තමයි වෙන්නේ.  ඉතිං බුද්ධි අංශ  කියන්නේ එහෙම එකක්.  කවුරුත් දන්නේ නැති වුණාට සෑම දේශපාලන පක්ෂයක් ඇතුළේම  බුද්ධි අංශ ඉන්න පුළුවන්. බුද්ධිය තියෙන අය ඒක දන්නවා.


    අර මොකක්ද සේනාවකට බුද්ධි අංශ ගිහිල්ලා ඉන්නවා නම්, මම දන්නේ නැහැ එහෙම ඉන්නවද කියලා. එහෙම ඉන්නවා නම් ඉන්නේ ඒ සේනාවට වැඩකරනවා වගේ පෙන්නගෙන ඒකෙ වෙන්නේ මොනවද කියලා හොයන්න. එල්.ටී.ටී.ඊ.ය ඇතුළෙත් බුද්ධි අංශ ඉන්න ඇති. එක් අවස්ථාවක "රෝ" සංවිධානයේ කෙනෙක් එල්.ටී.ටී.ඊ.ය ඇතුළේ  හිටියා කියලා හෙළිවෙලා පිරබාහරන් පසු කළෙක ඔහු මැරුවා.  එහෙම තමයි බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය.  ඔවුන් තමන්ට තොරතුරු හොයන්න ඕන හැම තැනම රිංගනවා.  එහෙම බුද්ධි අංශ සාමාජිකයෙක් මොනයම්ම හෝ සංවිධානයක් තුළ හිටියා කියලා ඒකෙන් ඔප්පු වෙන්නේ නැහැ ඔහු ඒ සංවිධානයේ වැඩ  කරනවා කියලා. හැබැයි මංගල සමරවීර මහත්තයාගේ ගෙදරම  බුද්ධි අංශ නිලධාරියෙක් හිටියා කියමුකො. ඒත් මංගල සමරවීර මහත්තයා එළියට ගිහිල්ලා  කතාකරන ඒවා ඒ නිලධාරියට හොයාගන්න බැහැ. ගෙදර වෙන දේවල් විතරයි ඔහු දන්නේ.  ඒ නිසා ඒ නිලධාරියාගෙන් ඔක්කොම තොරතුරු ලබාගන්න බැහැ.


    එදා රනිල් වික්‍රමසිංහ  මහතාගේ ආණ්ඩුව කළා වගේ එක් පැත්තකින් ආරක්ෂක අංශ දුර්වල කරලා බුද්ධි අංශ මානසිකත්වය බිදවට්ටලා අන්තර්ජාතික බලවේගවලට මේ රටේ බුද්ධි අංශ පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් හදලා පෙන්වන්න තමයි අද හදන්නේ. අපිට දේශපාලනික වශයෙන් මතභේද තියෙන්න පුළුවන්. ආණ්ඩුවේ ගමන පිළිබඳ විවේචන ඒවා නිවැරදි කිරීම පිළිබඳ යෝජනා තියෙන්න පුළුවන්. ඒ මොනවා තිබුණත් අපි ජීවත්වන මව් පොළොවට හතුරු කිසිම දෙයක් කිරීමට අපට අයිතියක් නැහැ. ඒත් අද වන විට විරුද්ධ පක්ෂය සම්පූර්ණ දේශද්‍රෝහී වැඩසටහනක් කරට අරගෙන ක්‍රියාත්මක කරගෙන යනවා. අපි මේ රටේ යුද්ධය කරන්න බෑ කියපු වෙලාවේ යුද්ධය කළ හැකියි කියලා ඒත්තු ගැන්වූ අය. යුද්ධය කරන්න පුළුවන් කියලා ඒත්තු ගන්වලා නිකන් ඉන්නේ නැතුව යුද්ධය කළ හැකි නායකයෙක් ජයග්‍රහණය කරවීම සඳහා කැපවුණු අය. ඒ නායකයා දිනවලා යුද්ධය කරනකොට අත පිසදාගෙන නිකන් බලාගෙන ඉන්නේ නැතුව ඒ යුද්ධය ජයග්‍රාහීව ඉවරකරන්න හිටපු පක්ෂයෙන් එළියට බැහැලා ඒ වෙනුවෙන් කර ගැසූ අය. ඒ වගේම ඒ යුද්ධය දිනවලා ඒ ජයග්‍රහණය ජාතියට දායාද කරලා දෙන්නට දැවැන්තව මැදිහත් වූ අය. ඒ විතරක් නොවෙයි, යුද්ධයෙන් පස්සෙත් මේ රටට හතුරුව එන බලමුළු පරාජය කරලා ජාතියට නිසි මඟපෙන්වීමට අපි අපේ ජාතික යුතුකම හා වගකීම ඉටුකරමින් ඉන්නවා" යැයි ඔහු සඳහන් කළේය.


    මෙහිදී අමාත්‍යවරයා විසින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදී රටවල් විසින් මැදපෙරදිග රාජ්‍යයන් විනාශය කරා ගෙනගිය ආකාරය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. "අද අපි රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයන් බලන විට මොනතරම් විනාශකාරී ජවනිකාවලින් මුළු ලෝකයම පිරිලද කියලා දකිනවාද? මැදපෙරදිග කලාපය අප බලා ඉඳිද්දිම ගිනිගන්නවා. නුසුදුසු නායකයෝ ඒ රටවල ඉන්නවා කියලා බටහිර රටවල් උදව් කරලා ඒ නුසුදුසු යයි සැලකූ නායකයන් ඉවත් කළා. සදාම් හුසේන්, ගඩාෆි, මුබාරක්  වැනි පාලකයන් නරකයි කියලා ඔවුන් එළවා දැමුවා. ඒ සඳහා ඔවුන්ට විරුද්ධ කල්ලිවලට ආයුධදීලා බටහිර රටවලුත් ඒ සඳහා මැදිහත්වෙලා ඒ පාලකයන් එළවා දැමුවා. දැන් ඒ රටවලට මොකද වෙලා තියෙන්නේ. තිබුණට වඩා හොඳ පාලනයක් හැදුනද?  ගඩාෆිට වඩා හොඳ පාලකයෙක්  ලිබියාවට ආවද? සදාම් හුසේන්ට වඩා හොඳ පාලනයක් ඉරාකයට ආවද? අද ඉරාකය කඩලා කුර්දිවරුන්ට කුර්දිස්තාන් කියලා වෙනම රටක් හදන්න යනවා.


    ඉරාකය බෙදන්න බටහිර රටවල්වලට සැලැස්මක්  තිබුණා. පකිස්තානයට කිට්ටුවෙන් බලුකිස්තානයක් හදන්න. ඉරාකය ආසන්නයෙන් කුර්දිස්තානයක් හදන්න. ඔය සිතියම දැනට අවුරුදු 10කට 15කට  කලින් ඉඳලා බටහිර රටවල් හදාගෙන හිටියේ. ඒ අනාගත ලෝක සිතියම සදාම් හුසේන්ව එළවන කොට බොහෝ දෙනෙක් සතුටු වුණා. ඒත් සදාම් හුසේන්ව එළවලා ඉරාකයට සදාම් හුසේන්ගෙන් නොලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය බටහිර රටවල් ගෙනාවද? නැහැ. බටහිර රටවල්වලට ඕන කරන කෑලි කිහිපයකට කැඩුණු ඉරාකය හදන්න තමයි ඔවුන් සදාම් හුසේන්ගේ පාලනය අවසන් කළේ.


    එදා සුද්දා උඩරට හිටිය රාජසිංහ රජතුමාව එළවා දැම්මෙත් මේ ක්‍රෑර රාජසිංහ රජතුමාගේ පාලනයෙන් උඩරට ජනතාව බේරාගැනීමට කියලා. ඒත් රාජසිංහ රජතුමාව එළවලා අපේ ප්‍රභූවරුන් හිතුවා වගේ සුද්දා උඩරට ඔටුන්න සිංහල ප්‍රභූවරුන්ට දුන්නේ නැහැ.


    අද ඉරාකයේ එකම ඉස්ලාම් ආගමේ ෂියා හා සුන්නි යනුවෙන් දෙපිරිසක් ඇණකොටා ගන්නවා. ඔවුන් එකම ආගමක් අදහන ඉස්ලාම්  ජනතාව. ඔවුන් අතරේ  තියෙන ඉතා සුළු  වෙනස මුල්කරගනිමින් ඔවුන් ඇණකොටා ගන්නවා. ඇමරිකා එක්සත් ජනපදය මේ දෙස  හිනාවෙවී බලන් ඉන්නවා. හිටපු ගමන් නිවේදන නිකුත් කරනවා.  කනස්සල්ල පළ කරනවා. මේ ආසන්නයේ දවසක ඊශ්‍රායලයේ අගමැතිතුමා කියනවා කුර්දිවරුන්ට වෙනම රටක් දෙන්න වෙනවා කියලා. ඒ තුළින් පේන්නේ එහෙ ක්‍රියාත්මක වන බටහිර න්‍යාය පත්‍රයයි.


    අපේ වගේ රටවල්වල යම් යම් අඩුපාඩු තියෙනවා. බටහිර රටවල් බලන්නේ ඒ අඩුපාඩු දඩමීමා කරගනිමින් ඔවුන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමටයි. පසුගියදා සිංහල, මුස්ලිම් ගැටුමක් නිර්මාණය වුණා. ඊයේ (06) "ඔබ්සවර්"  පුවත්පත කියවලා බලන්න එහි  මැද පිටුවේ ලිපියක් පළ වෙනවා. ඒ ලිපියේ තියෙනවා ඇමරිකා  එක්සත් ජනපදය ඇතුළේ පසුගිය කාළේ මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල වුණාද කියලා. සංඛ්‍යාත්මකය එම ලිපියේ සිද්ධි 20ක් පමණ දක්වලා තියෙනවා. ඒත් ඒ එකම සිදුවීමක්වත් බී.බී.සී., සී.එන්.එන්., අල්ජසීරා ආදී මාධ්‍ය මඟින් වාර්තා කරන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ කවුරුත් දන්නෙත් නැහැ. ඒ සේරම ඉස්ලාම් අනන්‍යතාවට එරෙහි ඇමරිකානු කතෝලිකයන්ගේ ප්‍රහාර. කවුරුත් හිතන්නේ බටහිර රටවල්වල ජාතිකත්ව, ආගමික සහජීවනය දෝරෙගලනවා කියලා. ඇමරිකා එක්සත් ජනපදයේ ඡන්දයක් ඉවර වුණ ගමන් එරට කළුජාතිකයෝ අඬනවා අපිට හරියට ඡන්දය පාවිච්චි කරන්න දුන්නේ නැහැ කියලා.  ඒවා මාධ්‍යවල පළ වෙන්නේ නැහැ. ඒත් අපේ වගේ රටවල්වල ආගමික හිංසනය කියලා පෙන්වන්න පුළුවන් පුංචි ඇල්පෙනිත්තක් බිමට වැටුණා නම් ඒවා ඉතා විශාල ප්‍රවෘත්ති බවට පත්වෙනවා. බන්කි මූන් මහත්මයා ඒ වෙනුවෙන් නිවේදන නිකුත් කරනවා. ඒත් එතුමා කිසිම මාධ්‍යයක ඇමරිකාව මුස්ලිම් ජනතාවට හිරිහැර කළාට ඒ වෙනුවෙන් නිවේදන නිකුත් කරන්නේ නැහැ. මැද පෙරදිග අස්ථාවර කළා වගේ ඇති අඩුපාඩු වැඩි කරලා නැති අඩුපාඩු මවලා අපේ රටවල් දුර්වල කරලා ඒ රටවල් ගිලගන්න එක තමයි අද මේ බටහිර බලවේගවල කොන්ත්‍රාත්තුව බවට පත්වී තිබෙන්නේ " යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


    මෙයට සමගාමී ව තවත් ප්‍රතිලාභී පවුල් 50ක් සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම ද, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය (ICTAD) මඟින් පුහුණුව ලබා ගත් වඩු කාර්මිකයන්, පෙදරේරු කාර්මිකයන් හා ජලනල කාර්මික ශිල්පීන් 150 දෙනෙකු සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණ.


    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක "ජන සෙවණ" නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව මෙම මූල්‍යාධාර, ඔප්පු හා සහතිකපත් ප්‍රදානය කෙරිණ.


    මෙම අවස්ථාවට ඌව පළාත්  අමාත්‍ය  කුමාරසිරි රත්නායක,  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ පද්ම උදය ශාන්ත  ගුණසේකර, එහි සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ, ඉක්ටෑඩ් ආයතනයේ සභාපති අනුර දසනායක, එහි අධ්‍යක්ෂ බාලචන්ද්‍ර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya