මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

    ජූනි 26, 2014

    කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ජනතා අයිතියට පත් කෙරිණි.


    රුපියල් මිලියන 452ක වියදමින් නවීකරණය කරන ලද දෙහිවල - ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයේ මාර්ග පද්ධතිය, නව දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාල ගොඩනැගිල්ල හා වාහන නවතා තැබීම සඳහා ඉදිකරන ලද නව වාහන අංගනය මෙසේ ජනතා අයිතියට පත් කරන ලද අතර මේ අවස්ථාවට කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ද සහභාගි විය.

    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රමුඛ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියක් වන කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ලෝක බැංකු සහන ණය පදනම යටතේ මෙම සංවර්ධන කාර්යයන් සිදු කෙරිණි. කොළඹ අග නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 223ක් (රුපියල් මිලියන 29,000) වන අතර එහි ප්‍රධාන අරමුණ වනුයේ කොළඹ නගර සීමාව තුළ ජල ගැලීම් පාලනය කිරීම හා ඒ ඒ ප්‍රදේශයන්හි යටිතල පහසුකම් දියුණු කිරීමට අදාළ සේවාවන් වේ.

    මේ අවස්ථාවට සහභාගි වූ ආරක්ෂක ලේකම්වරයා පළමුව කපිතාන් සුමුදු රාජපක්ෂ මාවත ද නිරීක්ෂණය කරනු ලැබීය.

    දෙහිවල - ගල්කිස්ස නාගරික බල ප්‍රදේශයේ සිදු කරන ලද මෙම සංවර්ධන ව්‍යාපෘති මඟින් ආරක්ෂාකාරී, පිරිසිදු හා පහසු මංමාවත් නිර්මාණය කරමින් ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට වඩා හොඳ පහසුකම් සලසාදීමට අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රදේශයේ තෝරාගන්නා ලද මංමාවත් 23ක් සඳහා තාර ඇතිරීම හා ජල ගැලීම් වළකාලන ලෙස ක්‍රමවත් ජල ප්‍රවාහන පද්ධති ඉදිකිරීමද සිදු කර ඇත. එසේම මෙම නවීකරණය කරන ලද මාර්ග 23න් 15කම ජල නළ පද්ධතිය අලුතින්ම දැමූ බව මෙහිදී අදහස් දැක්වූ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) රොහාන් සෙනවිරත්න මහතා පවසා සිටියේය.

    එසේම මේ යටතේ රත්මලාන ප්‍රදේශයේ පැවති ජල ප්‍රවාහන පද්ධති 02ක් නැවත නවීකරණය කළ බව පැවසූ ඒ මහතා ඉදිරියේදී මේවා නිසියාකාරව නඩත්තු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර සිටියේය. එසේම මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා උදව් උපකාර කළ කොන්ත්‍රාත් සමාගම් දෙකට, විදුලිබල මණ්ඩලය, ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය, සහන ණය සැපයීම වෙනුවෙන් හා අවශ්‍ය සහයෝගය ලබාදීම වෙනුවෙන් ලෝක බැංකුව වෙනුවෙන් සහභාගී වූ නියෝජිතයන්ට හා මේ සඳහා සහයෝගය ලබා දුන් සියලුදෙනාටම සිය ස්තූතිය පුද කිරීම ද මෙහිදී සිදු කරන ලදී.

    මෙම අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා තම ජීවිතය පිළිබඳ ව විශ්වාසයක් තබා ගමනක් යාමට නොහැකිව තිබූ අවධියක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හා ආරක්ෂක ලේකම්තුමාගේ මගපෙන්වීම මත ආරක්ෂක හමුදාවල සිටින රණවිරුවන් විසින් අප රටට නැවතත් සාමය උදාකරදීම නිසා අද වන විට මෙවැනි සංවර්ධන කටයුතු සිදු කිරීමට හැකිව තිබෙන බවත් ඒ වෙනුවෙන් අප සියලුදෙනාම නැවත නැවතත් ඔවුන්ට ස්තූති කළ යුතු බවත් පැවසීය. ප්‍රදේශයේ ජනගහනය වැඩිවීමත් සමඟ ම එහි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කළ යුතු බවත් කොළඹ අග නගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රදේශයේ ඇති වී තිබෙන සංවර්ධනය අතිවිශාල එකක් බවත් පැවසූ අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාට සිය ස්තූතිය පුද කර සිටින බවද සඳහන් කළේය.

    එසේම එදා අරලගංවිල, කාත්තන්කුඩි, ශ්‍රී මහා බෝධිය හා දළදා මාළිගාව වැනි ආගමික ස්ථානවල ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරවා විශාල විනාශයක් සිදු කරන විට මුනිවත රැක ඒ පිළිබඳව කම්පාවීම පමණක් සිදු කළ සමහර අන්තවාදීන් පසුගියදා ඇතිවූ සුළු සිද්ධියක් මුල් කරගෙන රට තුළ හා ඉන් පිටත විශාල ආන්දෝලනයක් සිදුකළ බවත් මෙවැනි සංවර්ධන ක්‍රියාවල ප්‍රතිලාභ මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ලබාදීමට හැමවිටම රජය ක්‍රියාකරන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය වැඩම කර සිටි අතර ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග යන මහත්වරුන්, ලෝක බැංකුව වෙනුවෙන් රොෂානා නිටි මහත්මිය හා ජෙරී ජෑන්ස් මහතා සහ තවත් සම්භාවනීය අමුත්තන් රාශියක්ම සහභාගී වූහ.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya