මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016දී අර්තාපල් බීජ ආනයනය නතර කරනවා - කෘෂිකර්ම අමාත්‍ය

    ජූනි 18, 2014
    ගොවියා පිළිබඳව මෙතරම් අවධානය යොමු කළ රජයක් මින් පෙර ඉතිහාසයේ නොතිබුණ බවත් වත්මන් රජය ගොවි ගැටලු හමුවේ ඉතා සංවේදීව කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා නුවරඑළිය, මීපිලිමාන ප‍්‍රජා ශාලාවේ පැවති නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ තෝරාගත් ගොවි සංවිධාන 10කට නොමිලේ ට‍්‍රැක්ටර් බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමිනි. 


    මෙම අවස්ථාව ශී‍්‍ර ලංකා හදබිම අධිකාරියේ මූලිකත්වයෙන් පැවති අතර මේ එක් ට‍්‍රැක්ටරයක් සඳහා රුපියල් 135,000ක පමණ මුදලක් වැය කරනු ඇත.

    මෙහිදී කෘෂිකර්ම අමාත්‍යතුමා වත්මන් රජය ගොවියා වෙනුවෙන් ඉටුකරන කාර්යභාරය පිළිබඳව අදහස් පළ කළේය. කෘමිනාශක, වල්නාශක භාවිතය හේතුවෙන් එළවළු වෙළෙඳාම පහත වැටුණු බව පවසමින් පසුගිය දිනවල උද්ඝෝෂණ පැවතියත් එම චෝදනාව සත්‍යයෙන් තොර පදනම් විරහිත චෝදනාවක් බව සඳහන් කළේය. 

    මේ වන විට එළවළු මිල ඉහළ යාම නිසා එළවළු වෙළෙඳාම සරු වී ඇත. ලොව කිසිදු රටකට කෘමිනාශක, වල්නාශක භාවිතයෙන් තොරව වාණිජ වශයෙන් කෘෂි නිෂ්පාදන සිදු කළ නොහැක. රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ආහාර නිෂ්පාදනය කිරීමට අප තුළ කැමැත්තක් තිබුණ ද වෙළෙඳපොළ අවශ්‍යතාව අනුව එය ප‍්‍රායෝගිකව සිදු කිරීමේ හැකියාවක් නොමැත. කෘෂිකර්මාන්තයේ දී යොදා ගන්නා කෘමිනාශක, වල්නාශකවලින් ශරීරයට එක් වන ආසනික්, කැඩ්මියම් හේතුවෙන් වකුගඩු රෝගය වැළඳෙන බවට ඇතැමෙක් පෙන්වා දුන්න ද කෘෂි රසායන භාවිතය අනුමත කළ හැකි දෙයක් නොවුණත් ඒවා භාවිතය සම්පූර්ණයෙන්ම නවතා දැමීමේ හැකියාවක් නැහැ. පවතින තත්ත්වය අනුව ගොවීන් යොමු විය යුත්තේ හැකිතාක් දුරට අවම කෘෂි රසායනික භාවිතයක් කෙරෙහි බව ඔහු පෙන්වා දුන්නේය. 

    යම් රෝගයකට ලබා ගන්නා ඖෂධයක් වුව ද ගත යුත්තේ නියමිත මාත‍්‍රාව අනුවයි. හිසරදයට ලබා ගන්නා ඖෂධයක් වුවත් පමණ ඉක්මවා ලබා ගත හොත් ඉන් අත්වන්නේ මරණයයි. පාලනයකින් තොරව කෘෂි රසායන භාවිතයෙන් ද අත් වන්නේ මේ හා සමාන ප‍්‍රතිඵලයකි. මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් කෘෂි රසායන භාවිත කිරීමට ගොවීන් සැලකිලිමත් වීම වැදගත් වේ. රජය ගොවියාට පොහොර ලබා දෙන්නේ  90%ක සහනාධාරයක් යටතේය. රජයේ පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ද ඇතැමුන් විවිධ චෝදනා එල්ල කරයි. ප‍්‍රමිතියෙන් තොර බාල පොහොර රජය විසින් ගොවීන්ට බෙදා දෙන බවට නඟන චෝදනා සත්‍යයෙන් තොරයි. දිගින් දිගටම රජය වෙත එල්ල කරන මෙවැනි අභූත චෝදනාවලට පිළිතුරු දීමට අතිගරු ජනාධිපතිතුමා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළේය. ඒ අනුව රසායනික පොහොරවල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා රුපියල් මිලියන 750ක වියදමින් ලක් පොහොර ආයතනයේ රසායනාගාරයක් විවෘත කළ අතර එහිදී පොහොරවල සංයුතිය පිළිබඳව නිසි පරික්ෂාවක් සිදු කිරීමට හැකිවේ. 

    වත්මන් රජය සැම විටම ගොවි ගැටලු හඳුනාගනිමින් ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමට ඉදිරිපත් වීම තුළ ගොවියාට සහන රැසක් හිමි වී තිබේ. අතිගරු ජනාධිපතිතුමා බලයට පත්වීමට පෙර වී කිලෝවක් සඳහා ලබා දුන්නේ රුපියල් 12ක මුදලකි. එහිදී ඇතැම් ගොවීහු රුපියල් 8කට වත් වී කිලෝවක් අලෙවි කර ගත නොහැකිව වස බී දිවි තොර කර ගැනීමට තරම් අසරණ වූහ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව වී කිලෝවක මිල එකවර රුපියල් 18කින් වැඩිකරමින් වී කිලෝවක් සඳහා රුපියල් 30ක සහතික මිලක් ලබා දීමට පියවර ගත්තේය. මෙහිදී ඇතැමුන් හාල් මිල වැඩිවීමෙන් ජීවන වියදම ඉහළ යන බව පැවසුව ද වී මිල වැඩි කිරීමෙන් ධෛර්යමත් වූ ගොවියා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ඉදිරිපත් වූවේය. 


    ආර්ථික වශයෙන් ලාභදායී ගොවිතැනක් පවත්වා ගෙන යාමට නම් ගොවියා සැමවිටම සංවිධාන ගත වීම වැදගත්ය. යම් බෝගයක් වගා කිරීමේ දී පවා සංවිධාන ගත වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෙළෙඳපොළ අවශ්‍යතාවට ගැළපෙන පරිදි වගා කටයුතු සිදු කළ යුතුය.

     

    අපේ රට තුළ නිදහස් වෙළෙඳ ප‍්‍රතිපත්තියක් ඇති කිරීමෙන් පසු ව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබූ බීජ පාලනය කිරීමේ අයිතිය ද පෞද්ගලික බීජ වෙළෙඳුන්ට හිමි විය. දැනට පාලනයකින් තොරව සිදු වන බීජ වෙළෙඳාම නෛතික රාමුවක් ඇතුළත යම් නියාමනයක් සහිතව සිදු විය යුතුය. පාලනයකින් තොරව පිටරටින් ආනයන කරන බීජ නිසා ගොවිතැන අනතුරේ හෙළන්නට ඉඩ නොදිය යුතුයි. බීජ සම්බන්ධයෙන් යම් ගැටලුවක්  පැනනගින විට ඒවාට වැරදිකරු වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. මෙම තත්ත්වය තුළ බීජ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. 

    අර්තාපල් වගාවේ දී වැය වන මුදලෙන් 50% ක්ම වැය වන්නේ බීජ සඳහායි. මේ වන විට දේශීය වශයෙන් අර්තාපල් බීජ නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර 2016 වන විට අර්තාපල් බීජ ආනයනය සම්පූණයෙන්ම නවතා දැමීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉලක්කයයි. ඒ අනුව රජයේ බීජ නිෂ්පාදන වැඩසටහන සාර්ථකව කි‍්‍රයාත්මක වෙමින් පවතින බව ඔහු පැවසීය.


    ගොවිතැනේ දී ඇති වන ගැටලු සම්බන්ධයෙන් ගොවීන්ට අවශ්‍ය උපකාරක සේවාවන් සැපයීමට කෘෂිකර්ම උපදේශකවරුන් සූදානමින් සිටිය ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ගොවීන් එම නිලධාරීන්ගෙන් ප‍්‍රයෝජන ලබා නොගන්නා බවයි. ගොවි ගැටලුවලට වෙළෙන්දන්ගෙන් උපදෙස් නොගෙන නිසි දැනුමක් සහ පුහුණුවක් සහිත නිධාරීන්ගෙන් උපදෙස් ලබා ගැනීම තුළ වගාවේ දී ඇතිවන ගැටලුවලට නිසි විසඳුම් ලබා ගත හැකිය. රජය විසින් ලබා දෙන පහසුකම් නිසි ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් දේශීය කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම ගොවියාගේ යුතුකමක් බව කෘෂිකර්ම අමාත්‍යතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.  


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya