මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම්ප්‍රදායික ආහාර සැකසීමේ තරගාවලියක් හා ප්‍රදර්ශනයක්

    ජූනි 17, 2014
    "කෙතයි බතයි අපේකමයි" යනුවෙන් සාම්ප්‍රදායික ආහාර  සැකසීමේ තරගාවලියක් හා ප්‍රදර්ශනයක් වාර්ෂිකව පැවැත්වීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
     
    මෙම තරගාවලිය බත් වර්ග, කැඳ වර්ග, ව්‍යඤ්ජන හා සූප් වර්ග, පාන (බීම) වර්ග, රස කැවිලි වර්ග හා වෙනත් ආහාර වර්ග යන තරග ශිර්ෂ 6ක් යටතේ පැවැත්වෙන අතර එක් තරගකරුවෙකුට තරග ශිර්ෂ තුනක් යටතේ තරග කළ හැකි අතර එක් තරග ශිර්ෂයකින් එක් තරගයකට පමණක් සහභාගී විය හැකිය.
     
    “කෙතයි බතයි  අපේකමයි”  තරගාවලියට ඉදිරිපත්වීමට වයස් සීමාවක් නොමැති අතර තරගාවලිය දිස්ත්‍රික් හා ජාතික වශයෙන් වට දෙකකින් පැවැත්වෙයි. දිස්ත්‍රික් තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්  ජාතික තරගය සඳහා තෝරාගනු ලබයි. 
     
    මෙම තරගාවලියේ අයදුම්පත් ‍ජූනි 30 වන දින දක්වා සියලුම දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින්  හා www.culturaldept.gov.lk යන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්  ලබාගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් තමන් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ජූලි මස 07 වන දිනට ප්‍රථම බාරදිය යුතුයි. මෙම තරගාවලියේ  දිස්ත්‍රික් තරග අගෝස්තු 09 වන දින පැවැත්වෙන අතර ජාතික තරගය හා  ආහාර ප්‍රදර්ශනය අගෝස්තු 30 වන දින බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව එදා දේශීයව සකසාගත් ආහාර වට්ටෝරු හා ආහාරපාන නිසා  ශාරීරික සෞඛ්‍ය, පෝෂණය, ආරක්ෂාව හා රෝග නිවාරණය මෙන්ම සමාජීය වශයෙන් සහජීවනයෙන් යුතු පරපුරක් බිහිකරලීමට සමත්විය. එදා ඔවුන්‍ ගේ ආහාර සංස්කෘතිය හා සම්ප්‍රදායන් නිසා පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීමට ද හැකිවිය.  දැනට අභාවයට යමින් පවතින එම ආහාර සංස්කෘතිය යළි ශ්‍රී ලාංකේය සමාජය තුළ ජනගත කිරීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව  ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලවල සහයෝගයෙන් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya