මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ ගොවීන්ගෙන් පාරිභෝගිකයාට හානියක් නැහැ

    ජූනි 11, 2014
    නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාව වගා කටයුතු සඳහා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයට ගැනීම පිළිබඳ සමීක්ෂණයක් පසුගිය දිනවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ බවත් ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මණ්ඩලයක් නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ක්ෂේත‍්‍ර චාරිකාවක යෙදුණු අතර ගොවි ජනතාව වගා කටයුතු සඳහා කෘෂි රසායන භාවිත කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි සිදු කරන බව හඳුනාගැනීමට හැකි වූ බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

     
    නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ ගොවීන්ගෙන් බහුතරයක් නවක ගොවීන් නොවන අතර වගාවන්හි නියැළෙන ගොවීන් කෘෂි රසායනික හා පොහොර වර්ග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් හා ඔවුන්ගේ අත්දැකීම් පදනම් කර ගෙන මිලදී ගැනීමට කටයුතු කරනු ඇත. ප‍්‍රදේශයේ ගොවි ජනතාව තම වගාවන් සඳහා ප‍්‍රමාණය ඉක්මවා පලිබෝධනාශක භාවිත නොකරන අතර සීමාව ඉක්මවා කෘෂිරසායනික භාවිත කිරීම අනවශ්‍ය වගා වියදමක් දැරීම බව ප‍්‍රදේශයේ ජනතාව අවබෝධයෙන් පසුවෙයි. ඊට අමතරව පලිබෝධනාශක භාවිතය අවම කිරීමේ අරමුණින් නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ ව්‍යාපෘති වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක වන බවද හඳුනා ගැනීමට හැකි වී තිබේ. ඒ යටතේ කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය ප‍්‍රචලිත කිරීමේ වැඩසටහන්, පලිබෝධනාශක අලෙවිසල්වල සේවකයන් ක‍්‍රමවත්ව අලෙවි කටයුතු සිදු කිරීමට පුහුණු කිරීම, බලයලත් නිලධාරීන් විසින් අලෙවිසල් පරීක්ෂා කිරීම, වාර්ෂික බලපත‍්‍ර ලබාදීමේ කටයුතු ක‍්‍රමවත් කිරීම හා ඒකාබද්ධ පලිබෝධ පාලනය හා පෝෂක භාවිතය පිළිබඳව පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කිරීම මේ වන විටත් කි‍්‍රයාත්මක කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේය. 

    ගොවි ජනතාවගෙන් 5%ක් පමණ ඉතා සුළු පිරිසක් විධිමත් නොවන අයුරින් රසායනික භාවිතයට යොමු වී සිටිය ද බොහෝ පිරිසක් ඒ පිළිබඳව දැනුවත්භාවයෙන් පසුවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊට අමතරව ගොවි ජනතාවගේ රසායනික ද්‍රව්‍ය භාවිතය පිළිබඳ උපදෙස් ලබාදීම සඳහා දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය, පළාත් කෘෂිකර්ම කාර්යාල ආයතන මට්ටමින් කි‍්‍රයාකරන අතර දිස්ති‍්‍රක් කෘෂිකර්ම අධ්‍යක්ෂකවරුන්, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරුන්, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂකවරුන් හා කෘෂිකර්ම උපදේශකවරුන් අවශ්‍ය දැනුවත් කිරීම් සඳහා නිරතුරුව යොදා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

    රජය මඟින් ගොවීන්ගෙන් අර්තාපල් මිලදී ගැනීමේ දී සහතික මිලක් නියම කිරීම තුළින් ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයාට ද සහනයක් ඇති කිරීමට පියවර ගනු ලැබූ අවස්ථාවක මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඔවුන්ගේ පැවැත්ම සඳහා පාරිභෝගිකයන් මුලා කිරීමට නුවරඑළියේ වගා කටයුතු සඳහා විශාල වශයෙන් කෘෂි රසායන භාවිත කරන බවට ප‍්‍රචාරය කළ ද එය මුළුමනින්ම අසත්‍ය කරුණක් බව මෙම සමීක්ෂණය මඟින් හෙළි වී තිබේ. නුවරඑළිය දිස්ති‍්‍රක්කයට ආවේණික එළවළු, මල් ඇතුළු සියලුම කෘෂි වගාවන් පිළිබඳ රජය හා පුද්ගලික ආයතන සම්බන්ධ කර ගනිමින් මසකට වරක් ප‍්‍රමිතිගත කරන බවත් පාරිභෝගිකයන් ඒ පිළිබඳ කිසිදු අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය. 

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya