නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය දස වසරකින් ඉදිකළා මෙන් පස් ගුණයක් නිවාස දස මාසයකින් හැදුවා - ඇමති දයා

    දෙසැම්බර් 01, 2015

    මහින්ද දස වසරකින් ඉදිකළා මෙන් පස් ගුණයක් නිවාස, සජිත් දස මාසයකින් හැදුවා යැයි අමාත්‍ය දයා ගමගේ මහතා දෙහිඅත්තකණ්ඩියේ දී කියයි.

     

    අම්පාර දිස්ත්‍රික්කය තුළ පසුගිය දස වසර තුළ ඉදිකළ නිවාස මෙන් පස් ගුණයක් නිවාස පසුගිය දස මාසය තුළ ඉදිකිරීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා පැවසීය.

    සම්පූර්ණ නොකළ නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා ජාතික නිවාස අධිකාරිය මගින් පිරිනමන සිමෙන්ති ආධාර ලබා දීමේ වැඩසටහනට ඊයේ (නොවැ. 30) දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  පැවති උත්සවයක දී අමාත්‍යතුමා මේ බව කියා සිටියේය.

     

    මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ ඉදිකර ඇත්තේ නිවාස දෙසියයක් පමණක් නමුත්, සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු මේ වන විට නිවාස දහසක් පමණ ඉදිකිරීමට පියවර ගෙන තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

     

    මීට අමතරව, නිවාස ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අවශ්‍ය ණය සහ ආධාර ලබා දීමට නව රජය මේ වන විට පියවර ගනිමින් සිටින බවත් තම අරමුණ වන්නේ, ඉදිරි වසර පහ අවසන් වීමට පෙර දිස්ත්‍රික්කයේ ස්ථීර නිවසක් අහිමි 27,000කට පමණ ස්ථීර නිවසක් ලබා දීම බවත් අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.

     

    මේ යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සියයකට අධික පිරිසක් ප්‍රතිලාභ ලැබීමට නියමිතය. එක් අයෙකු වෙනුවෙන් අවම වශයෙන් කිලෝ ග්‍රෑම් 50 ප්‍රමාණයේ සිමෙන්ති කොට්ට දහයක් පමණක් ලබා දීමට කටයුතු කර ඇත.

     

    මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුසංයෝගයෙන් බිහිවුණු ජාතික ආණ්ඩුවේ හැකියාවන් සහ අත්දැකීම් භාවිත කරමින් මෙරට දැවැන්ත ආර්ථීක විප්ලවයක් ඇති කිරීමට පියවර ගන්නා බව ද දයා ගමගේ මහතා සඳහන් කළේය. පසුගිය සමයේ දී විවිධ සංඛ්‍යාලේඛණ හෝ මාධ්‍ය සංදර්ශන මගින් පමණක් ඉහළ නැඟුණු ආර්ථීකය, සත්‍ය දියුණුවක් කරා රැගෙන යාම අරමුණ බව ද පැවසීය.

     

    මෙම අවස්ථාවට ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ද ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය, ජාතික නිවාස අධිකාරියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya