විවිධ රටවල කෘෂිකාර්මික උරුමයන් සුරක්ෂිත කිරිමේ වැඩපිළිවෙළ, ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය මගින් ක්‍රියාත්මක කරයි. මෙම කෘෂිකාර්මික ලෝක උරුම ගොඩනැගිමේ වැඩපිළිවෙළට මුලින්ම එකතු වි ඇත්තේ ජපානයයි.
නමුත් වර්තමානයේ දි එය ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්ත වී තිබේ. ශ්‍රී ලංකාවේ ද ලෝක උරුමයන් පවත්වාගෙන යා හැකි අංශ ලෙස හෙල්මළු , වැව් පද්ධති, යාපනය ප්‍රදේශයේ ළිං ජලයෙන්
කරන වගාව, උඩරට ගෙවතු හා කැකුලන් වී වගාව හඳුනාගෙන ඇත. මේ අතරින් ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කිරිමේ ක්‍රියාවලියට තෝරාගෙන ඇත්තේ පොකුරු වැව් පද්ධති පවත්වා ගැනිමේ ව්‍යාපෘතියයි. එය එල්ලංගාවක් ලෙස නම් කර තිබේ. ජල පෝෂක ප්‍රදේශයක පවතින විශේෂ වාපී ක්‍රියාවලියක් ලෙස මෙය හැදින්විය හැක.
මේ අනුව සංවර්ධනය කිරිමට ඉතා යෝග්‍ය එල්ලංගාවක් ලෙස පලුගස්වැව ප්‍රදේශය තෝරාගෙන ඇත. එම තෝරාගත් එල්ලංගාවෙහි වැව් අටක් පිහිටා තිබේ. ගම්මාන දෙකකි. එහි ඇති පවුල් හාරසිය පනහකින් , දෙසිය පනහක්ම ගොවි පවුල් ලෙස ජීවත් වේ. ගොවි කටයුතු සිදුකරන හෙක්ටයාර ප්‍රමාණය දහස ඉක්මවයි. කෘෂිකාර්මික ලෝක උරුමයන් තෝරා ගැනිම ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ "ගියාස්" ආයතනය මගින් සිදුකරයි. එහිදි ලෝක උරුම ස්ථානයක් ලෙස එම කෘෂිකාර්මික ස්ථානය තෝරාගැනිමට සලකා බැලෙන කරුණු කිහිපයක් තිබේ.
ආහාර සුරක්ෂිත බව, ජීවනෝපාය සංවර්ධනය , ජෛව විවිධත්වය , සංස්කෘතික වටිනාකම, මනහර භූමි දර්ශනය ආදිය ඉන් කිහිපයකි. ඒ සියල්ලට මුල්තැන දෙමින් පලුගස්වැව එල්ලංගාව සංවර්ධනයට පියවර ගෙන ඇත.
වැව් වල වර්තමාන ස්වාභාවය, වැවක මුලික කොටස් වල තත්ත්වය, ඉඩම් භාවිතය, ගැමි සංස්කෘතිය, පිටිසරබද තත්ත්වය, ආදිය සැලකිල්ලට ගෙන පොකුරු වැව් පද්ධති සංවර්ධනයට පලුගස්වැව ප්‍රදේශය සංවර්ධනාත්මකව තෝරාගෙන තිබේ. කෘෂිකාර්මික උරුම පද්ධතියක් යනු යම් ප්‍රජාවකට අදාල ආවේණික කෘෂිකාර්මික රටාවකි. ස්වාභාවික සම්පත් මත යැපෙන, පරිසර ගැටළු විසදෙන ආකාරයෙන් ක්‍රියාවට නංවන හා පරම්පරා ගණනක සිට පැවැත එන මෙන්ම ජීවන මාර්ග විශාල ප්‍රමාණයක් සකසා ගත හැකි , ස්වභාවික විපත් වලට මුහුණ දිය හැකි විම ආදි කරණු පදනම් කරගෙන කෘෂිකාර්මික උරුම පද්ධතියක් සැකසේ.
පලුගස්වැව ප්‍රදේශයේ සංවර්ධනය කෙරෙන පොකුරු වැව් පද්ධතිය එම අපේක්ෂා සියල්ලම සාධනය වන පරිදි ක්‍රියාත්මක කිරිමට නියමිතය . කෘෂිකර්ම අමාත්‍යංශය වෙන කවරදාටත් වඩා අලුත් වී ඇති බවත් , ඒ හරහා කෘෂිකාර්මික අංශයෙන් ශ්‍රී ලංකාව පිළිබදව ලෝකය තුල නම රැදවිමට සියලු නිලධාරින් කැප වී ක්‍රියාකල යුතු බවද විෂයභාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින් පැවසීය.
AP/DMU-Anuradhapura