අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප‍්‍රථම තාක්‍ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය තඹුත්තේගමට

    මැයි 22, 2014

    රටවල් 172ක් අතරින් නව නිපැයුම් අංශයෙන් ජයග‍්‍රහණය කළ මිහින්තලේ නාමල් උදාර පියසිරි ශිෂ්‍යයාට උපහාරයක් ලෙස ශ්‍රී ලංකාවේ පිහිටුවන ප‍්‍රථම තාක්‍ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය තඹුත්තේගමදී ලබන 02 වැනි දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    මෙතෙක් තාක්‍ෂණ විෂය සම්බන්ධයෙන් ගුරුවරුන් බිහිකිරීම සඳහා විද්‍යා පීඨයක් ආරම්භ කර නොතිබූ අතර මෙයට සමගාමීව ලංකාව පුරා තාක්‍ෂණ විද්‍යා පීඨ 250ක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව තඹුත්තේගම මධ්‍ය මහා විදුහල් භූමියේ සිව් මහල් ගොඩනැගිල්ලක ප‍්‍රථම තාක්‍ෂණ අධ්‍යාපන විද්‍යා පීඨය ආරම්භ කෙරේ.


    ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති 2014 ලෝක නව නිපැයුම්කරුවන්ගේ තරගයෙන් රටවල් 172ක් අතරින් කර්මාන්ත අංශයෙන් ප‍්‍රථම ස්ථානය සහ සමස්ත තරගාවලියෙන් දෙවන ස්ථානය ද හිමි කර ගත් තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ 12 වෙනි වසරේ ඉගෙනුම ලබන ඩබ්ලිව්.ඒ. නාමල් උදාර පියසිරි ශිෂ්‍යයාට තඹුත්තේගම  මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උපහාර උත්සවයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.


    උතුරු මැද ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ආරාධනයෙන් සහ සංවිධානත්වයෙන් පැවැති උපහාර උත්සවයට එක් වූ අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ පසුගිය වසරේ ලෝක ශූරයා වූ මිහින්තලේ ශිෂ්‍යයා කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරමින් එම ජයග‍්‍රහණය ලබා ගත් බවය. ඒ හේතුවෙන් තාක්‍ෂණ විෂය පාසල්වලට හඳුන්වා දුන් බවත් තාක්‍ෂණ විෂය හඳුන්වාදීමෙන් පසු බිහිවූ ප‍්‍රථම දරුවා මොහුවීම ද විශේෂත්වයක් බව අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කළේය.


    මේ තුළින් සාමාන්‍ය පෙළ ගණිතයට එස් සාමාර්ථයක් ලබාගත් සිසුවාටත් උසස් පෙළ තාක්‍ෂණ විෂය හැදෑරීමෙන් පසු නිෂ්පාදන සඳහා මේ තුළින් ගුරු වෘත්තියට පිවිසිය හැකි බව ද ඇමැතිවරයා අවධාරණය කරයි. මේසන්, වඩු වෘත්තියේ සිට කාර්මික අංශය දක්වා මේ තුළින් දොරටු විවර වන බවද ඔහු පැවසීය.


    මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා, තාක්‍ෂණික දැනුම සහිත නිපුණතාවයෙන් සපිරි දරු පරපුරකට රටේ සංවර්ධනය භාර කිරීමට ජනාධිපතිතුමා ඇරඹී මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය  සමන්විත වනු ඇත. තාක්‍ෂණ අධ්‍යාපනය උතුරු මැද පළාතේ පාසල්වල ඇරඹීමත් සමඟ මිහින්තලේ හා තඹුත්තේගම විදුහල්වල තාක්‍ෂණික විෂයන් හදාරණ සිසුන් දෙදෙනෙකු මුළු ලොවක් පරදා ජාත්‍යන්තරය පමණක් නොව අභ්‍යවකාශය ද ජය ගැනීම මහින්ද චින්තන අධ්‍යාපන ඉදිරි දැක්ම සාර්ථකවීමේ පෙර නිමිත්තක් බව ද ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසීය.


    මෙහිදී අදහස් දැක්වූ නාමල් උදාර සිසුවා; මේ තමයි ජනාධිපතිතුමා බලාපොරොත්තු වන ආසියාවේ ආශ්චර්යය. මේ රටේ තාක්‍ෂණය සම්බන්ධයෙන් දක්වන උනන්දුව නිසාම ඒ ඉලක්කය කරා යා හැකි බව පැවසීය. එදා තමන් මෙය නිර්මාණය කිරීමට ප‍්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතා හමුවීමෙන් පසු මුලින්ම මූල්‍ය උපකාරය එතුමා කළ බවත් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන රජරටට ලෝකය ජයගන්න ඇමරිකාවට පවා යන්න කටයුතු කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සහ උතුර මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාට තමාගේ ගෞරවනීය ස්තූතිය පුද කරන බව ද පැවැසීය.


    අත් ට‍්‍රැක්ටරයක් භාවිත කරමින් කූඹුරේ නියර බැඳීම, හී වැල් දත්ත කැපීම, නියර තැලීම ආදියට ට‍්‍රැක්ටරයේ කොටස් නිර්මාණය කොට ඒ සඳහා පළමුව තරගයන්ට ඉදිරිපත් වූ නාමල්, කුඹුර සී සෑමටත්, නියර බැඳීමට හා රැහීමටත්, හී වැල් දැත්ත ඇරීමටත්, නියර පස් තද කිරීමටත්, පෝරු ගෑමටත්, පස් කැපීමටත් හැකි යන්ත‍්‍රයක් නිපදවා පළාත් තරගයටත් ජාතික තරගයටත් ඉදිරිපත් කර පේටන්ට් බලපත‍්‍රය ලබාගෙන ඇත. නව යන්ත‍්‍රය මඟින් සේවකයන් 10 දෙනෙකු පමණ යොදවා දින කීපයක් කරන වැඩ දිනකින් ඉටුකර ගැනීමේ හැකියාව තිබෙන බවද නාමල් උදාර සිසුවා පැවැසීය.


    උදාර සිසුවාට උපහාරයක් ලෙස එම දරුවා උපන් ප‍්‍රදේශය වූ සෝලම ප‍්‍රාථමික විද්‍යාලය ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලයක් බවට පත් කිරීමට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පියවර ගෙන ඇත.


    ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා මේ දරුවාගේ නිවසට ගොස් එම යන්ත‍්‍රය පරීක්‍ෂා කළ අතර යන්ත‍්‍රය ප‍්‍රචලිත කිරීම සඳහා පළාත් සභාවේ දායකත්වය ලබා දීමට තීරණය කළේය.


    NDH/HC

    NCP nawa nipeyum Thambutthegama 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya