නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවකයන් සඳහා සියලු දීමනා ලබාදීමට ක්‍රියා කරනවා

    අප්‍රේල් 06, 2015
    රජයේ මුද්‍රණාල සේවකයන් සඳහා ලැබිය යුතු සියලු දීමනා වහා ලබාදීමට යහ පාලනයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රජයේ මුද්‍රණාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.
     
    සේවක අසමඟිය හා අප‍්‍රසාදය වර්ධනය වන ලෙස විවිධ චක‍්‍රලේඛන පෙන්වමින් ලැබිය යුතු සහන දීමනා වලක්වන්න උත්සාහ ගන්න එපා. රාජ්‍ය ආයතන තුළ දූෂණ, වංචා හෝ පලිගැනීම්වලට යහ පාලන රජයේ ඉඩක් නොමැති බවඅමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ  පසුගියදා බොරැල්ල, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පැවැති සේවක හමුවේදීය. 
     
    කඩිනමින් හැන්සාඩ් මුද්‍රණය සඳහා අභිනව ඩිජිටල් මුද්‍රණ යන්ත‍්‍රයේ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම ද ඇමතිවරයා අතින් සිදු විය. එමෙන්ම වෘත්තීය සමිති කාර්යාලය සහ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන ද නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ඇමතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, පරම්පරාවෙන් පරම්පරාවට දැනුම් සම්භාරය රැගෙන යන්නේ මුද්‍රණ ශිල්පියායි. එය සියවස් ගණනකට පෙර ආරම්භ වූවක්. එදා නොදියුණු යුගයේ ගල් ගුහාවල අත්ලේ ලේ තවරා ගල් බිත්තියේ හස්ත මුද්‍රාව සනිටුහන් කරමින් ආරම්භ වූ මුද්‍රණ ශිල්පය පරිගණකයෙන් විධානය දුන් සැනින් ඩිජිටල් තාක්ෂණයෙන් විවිධ වර්ණයෙන් මුද්‍රණය වීම දක්වා වර්ධනය වී තිබෙනවා.
     
    ලංකාවේ මුද්‍රණ කර්මාන්තය ආරම්භ කළ ලන්දේසීන් ඔවුන්ගේ අණ පනත් සහ ආගම් පත‍්‍රිකා මුද්‍රණයට යොදා ගත්තා. වඩාත් විධිමත් මුද්‍රණ ක‍්‍රමයක් ප‍්‍රචලිත කළේ ඉංග‍්‍රීසි පාලන යුගයේ දීය. එදා රැජණගේ අච්චු කන්තෝරුව යටත් විජිත යුගයෙන් පසුව ආණ්ඩුවේ අච්චු කන්තෝරුව බවට පත් වුණා. 
     
    උප්පැන්න සහතිකයේ සිට මරණ සහතිකය දක්වා ජනතාවට සමීප අත්‍යාවශ්‍ය ලියකියවිලි මෙන්ම විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයට අවශ්‍ය නීති අණ පනත් සහ ලේඛණ මුද්‍රණයේ භාරකරුවා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවයි.
     
    වසර 213ක් පැරණි මෙම ආයතනයේ ප‍්‍රථම සිංහල මුද්‍රණාලයාධිපතිවරයා බර්නාඩ් සිල්වා මහතායි. එසේම මෙම ආයතනයේ කීර්තිමත් පාලකයෙකු ලෙස ප‍්‍රකට මුද්‍රණාලයාධිපති නෙවිල් නානායක්කාර මහතාගේ සේවය ද සිහිපත් කළ යුතුයි.
     
    ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලන කාලයේ විෂය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් යුගයේ, මුද්දර මුද්‍රණය ආරම්භ කළා. එදා මැලේසියාවෙන් ශත 23ට මුද්‍රණය කරගත් අපේ මුද්දරය ශත 11කට මුද්‍රණය කරන්නට මේ ආයතනය සමත් වුණා. ඒ වාණිජ මුද්‍රණ කටයුත්ත අඛණ්ඩව සිදුකරගෙන යනවා.
     
    විවිධ පාලන යුගවල දී මෙහි අභාග්‍ය සම්පන්න කාල උදා වී තිබෙනවා. ඒ සියලු අක‍්‍රමිකතා යළි සිදු නොවීමට මමත් මාගේ අමාත්‍යාංශයත් නිසි පියවර ගත්තා. එකල පෞද්ගලික වෙළෙඳුන් ලබා ගත් අබිලි ද්‍රව්‍ය හා ඉවතලන කඩදාසි විකිණීමේ ක‍්‍රමවේදය අවලංගු කොට වඩාත් විනිවිද පෙනෙන ආකාරයට විවෘත ටෙන්ඩර් ක‍්‍රමයක් උපයෝගී කර ගැනීමට උපදෙස් ලබා දුන්නා. මේ නිසා පසුගිය මසකට අඩු කාලය තුළ රුපියල් ලක්ෂ 35කට වැඩි ලාභයක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා.
     
    ජනතාව යහ පාලන රජයක් උදා කළේ සතුටින් හා සමාදානයෙන් ජීවත් වීමටයි. දූෂණය හෝ වංචා වැඩවලට මෙන්ම පලිගැනීම්වලට මෙම රජය තුළ කිසිදු ඉඩක් නැහැ. අනවශ්‍ය චක‍්‍රලේඛ හෝ වෙනත් ලියකියවිලි පෙන්වමින් ජනතාවට ලැබිය යුතු සහන වලක්වමින් ඔවුන් පීඩාවට පත් කරන්නට එපා. සේවකයන්ට දෙන්නට පුළුවන් දේ ලබා දීම අපේ ප‍්‍රතිපත්තියයි. එසේම ජීවිතයේ වැඩි කාලයක් ගත කරන සේවා ස්ථානය තුළ සතුටින් සේවය කළ හැකි පසුබිම ගොඩනගාගන්න යැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, රජයේ මුද්‍රණාලයාධිපති ඩබ්ලිව්.ඒ.ඒ.ජී. ෆොන්සේකා, රාජ්‍ය මුද්‍රණ සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම් නුවන් බුද්ධික, රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් ලලිත් ඉන්දික, වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සරත් ලාල්, අතිරේක මුද්‍රණාලයාධිපති එල්.ආර්.කේ. අමරසිංහ, ඩී.එම්. කරුණාරත්න යන මහත්වරු ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya