මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අය-වැය රටේ ජනතාවට ආර්ථික ප‍්‍රතිලාභ රැසක් ලැබෙන අයවැයක් - ජනපති

    ඔක්තෝබර් 28, 2014

    මෙවර අයවැය රටේ ජනතාවට ආර්ථික ප‍්‍රතිලාභ රැසක් ලැබෙන අයවැයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. ත‍්‍රස්තවාදය අවසන් කර, වසර 04ක සංවර්ධනයේ ප‍්‍රතිලාභ මෙලෙස ජනතාව අතර බෙදාදීමට රජය කටයුතු කළ බව ද සඳහන් කළ ජනාධිපතිතුමා ආබාධිත දරුවාගේ සිට විශ‍්‍රාම වැටුප් ලබා ගන්නා විශ‍්‍රාමිකයා දක්වා වූ සියලුදෙනාට ඉන් නිවසට ම ප‍්‍රතිලාභ ලැබෙන බව ද පෙන්වා දුන්නේ ය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ ග‍්‍රාම නිලධාරීන් සමඟ පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති හමුවක දී ය.

    සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත් නියෝජනය කරමින් ග‍්‍රාම සේවා නිලධාරීන් පන්දහසකට අධික පිරිසක් මීට එක් ව සිටියහ.

    ග‍්‍රාම සේවා නිලධාරීන් අමතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    ජනතාවට ඉතා සමීප වගේ ම ජනතාවගේ වගකීම් විශාල කොටසක් දරන රාජ්‍ය නිලධාරීන් හැටියට අද ඔබ හමුවීම ඉතා සතුටට කරුණක්. මම කිලිනොච්චියට ගිහිල්ලත් ග‍්‍රාම සේවා නිලධාරීන් හමු වුණා. අපි ඊයේ දවසේ 2015 වර්ෂය සඳහා අය-වැය යෝජනාව රටට ඉදිරිපත් කළා. මේ 2015 අය-වැය අපි හදලා තියෙන්නේ රටේ ජනතාවගේ අතට ආර්ථික ප‍්‍රතිලාභ ලැබෙන විදියට. අවුරුදු 4ක සංවර්ධනය, යුද්ධය අවසන් වෙලා අවුරුදු 5ක ලැබුණු ප‍්‍රතිඵලය තමයි අපි රාජ්‍ය සේවකයන් අතර, ජනතාව අතර බෙදා දුන්නේ. ඒක නිසා තමයි මම ආබාධිත දරුවන්ගේ ඉඳලා විශ‍්‍රාම වැටුප් ලබන විශ‍්‍රාමිකයා දක්වා සියලු දෙනාට ගෙදරට ම ප‍්‍රතිලාභ ලැබෙන්න මේ පියවර ගත්තේ.

    අපේ අයවැය යෝජනාවේ ජනතා ප‍්‍රතිලාභ පිළිබඳ ව වගකීමක් තියෙන හා හොඳාකාර ව ම තේරුම් ගන්න පුළුවන් පිරිසක් තමයි අපි මුලින් ම කැඳවීමට තීරණය කළේ. ඒ ඔබයි. මේ ප‍්‍රතිලාභ ජනතාව අතරට අරන් යන කණ්ඩායමේ පෙරමුණේ රාළ තමයි ඔබ. එතන තමයි ශක්තිය තියෙන්නෙ. ඔබට පුළුවන් ඒක ඒ අය අතරට සම්බන්ධ කරන්න. ඉතින් පැය 24ක් යන්නටත් කලින් තමයි අපි තමුන්නාන්සේලා හමුවෙන්නෙ.

    අපේ පියාගේ කාලෙත් ගම් මුලාදෑනිවරුන් සිටියා. මේක පරණ රැකියාවක් එක පැත්තකින් බලන කොට. අතීත රජ දවසේ ග‍්‍රාමයෝජක, ගමරාළ වගේ නම්වලින් පැවතගෙන ඇවිල්ලා ආරච්චිලා, ගම්මුලාදෑනි වුණා. ඉන් පස්සේ ගම්මුලාදෑනිකම අයින් කරලා ග‍්‍රාම සේවක තනතුර හැදුවා. ඒ කාලේ මේක සාර්ථක වේවිද? නැද්ද? කියලා ලොකු සැකයක් තිබුණා. ගමේ කෙනෙක් නැති ව පිට කෙනෙකුට වසමක රාජකාරී කරන්න පුළුවන්ද, ඉඩ දෙයිද කියන ඔය ඔක්කොට ම තමුන්නාන්සේලා මුහුණ දුන්නා. නමුත් ටිකෙන් ටික කාලයත් එක්ක ම මේ සේවය ඊටත් වඩා හොඳට කරන්න පුළුවන් කියල තමුන්නාන්සේලා ඔප්පු කරලා තියනවා.

    අපි මේ කාලයෙන් පස්සෙ අඳුරු යුගයන් ගණනාවක් පසු කළා. දශක තුනක් ත‍්‍රස්තවාදයකට මුහුණ දුන්නා. 1971, 1989 භීෂණ යුගවලට අපි මුහුණ දුන්නා. ඒ වගේ ම කළු ජූලිය මේ රටට ඇති කළ වෙලාවෙ තමුන්නාන්සේලාට ඒකට මුහුණ දෙන්න වුණා. ඒවයින් ඇති වූ කළු ලප නැති කරන්න තවත් බොහෝ කාලයක් යයි. ඔබ තමයි මේ සියලු දේ ගැටගහගෙන ඉදිරියට යන්න කටයුතු කළේ. ඒ අයගේ අඩන්තේට්ටම්වලට තමුන්නාන්සේලා ලක් වුණා. එදා මට මතකයි අපේ ගමේ දෙන්නෙක් බෙලිඅත්තේ ග‍්‍රාම නිලධාරී, ඒ වගේ ම ගන්නෝරුවෙ කෙනෙක් හිටියා. මේ අයගේ ජීවිත නැති වෙලා ගියා. ඒ දවස්වල ඔබ හැමෝම එදා ගෙදරින් එළියට බැස්සේ එක අතක පෑනයි, දින පොතයි වගේ ම අනෙක් අතේ ඔබේ ම මරණ සහතිකය අතේ තියා ගෙන. ඒ වගේ යුග පහුකරලා තමයි, මේවට මූණ දීලා තමයි තමුන්නාන්සේලා අද ඇවිත් තියෙන්නේ.

    ත‍්‍රස්තවාදය අවසන් කරලා, මේ රට හදන්න, ඉදිරියට ගෙනයන්න දැන් අපට අවශ්‍යයි. ඒ හැම වෙලාවෙ ම ඔබෙන් ඉටු වූ සේවය අපි ඉතා ම අගය කරනවා. විශාල සේවයක් කළා. මට මතකයි ඒ යුගවලදී ගම ආරක්ෂා කරන්න ගමේ ආරක්ෂක කමිටු හදලා, හමුදාවට උදව් කරන්න, පොලිසියට උදව් කරන්න, විශාල මෙහෙයක් සිදු වුණා. ඉතින් ඒ නිසා අපි හැමදාමත් ඔබගේ සේවය අගයනවා. මේ අය-වැය යෝජනාව දෙද්දී රජයේ සේවකයන්ට වැටුප් වැඩි වුණා, නිදහස ලැබිලා 2005 දක්වා ලැබුන වැටුප අරගෙන බලන්න. මම 2005 දී එනකොට තිබුණේ මූලික වැටුප 7,800යි නිවැරදි කිරීමට යටත් ව. ඒක හරියට ම මේ අවුරුදු 10 තුළ දී ලබන මාසෙ ඉඳල වැඩි කරලා දෙනවා තව දෙගුණයකින්. මම කියන්නෙ අද රාජ්‍ය සේවයට එක්වෙන කෙනාගේ වැටුප. 7,500 දැන් 15,000 වෙලා. ඒකයි අද වෙලා තියෙන්නේ. ඒ වගේ ම අනෙක් දීමනා ලැබිලා තියෙනවා.

    අපි දැක්ක ඔබට ගමේ ඇවිදින්න තියනවා. සමහර විටක ඔබ ඉන්නේ ගෙදර නෙවෙයි වෙන තැනක. ගමේ නෙමෙයි ඉන්නේ. වෙන වසමක. එතකොට එතනට වෙලාවට යන්න අපි යතුරු පැදියක් දුන්නා. අපි මේක දුන්නේ ඔබේ සේවය වඩාත් කාර්යක්ෂම කරන්න. ජනතාවට කරන සේවය වඩාත් කාර්යක්ෂම කරන්න. ඒක ඔබේ යුතුකම හා වගකීම. රාජ්‍ය සේවකයෙක් වශයෙන් ජාති බේද, කුල බේද, ආගම් බේද, පළාත් බේද මේවා සලකන්න පුළුවන් කමක් නැහැ ඔබට. ඔබ සියලු ජනතාවට පොදු සේවයක් ලබා දෙන්න  ඕන.

     

    මොකද මම කිලිනොච්චියට යනකොට මට හමු වුණා වතුකරයෙන් එහාට ආපු අය. අසූ ගණන්වල තිබුණ කළු ජූලිය නිසා මේ අය ගිහින් එහෙ පදිංචි වුණා. දැන් ඔවුන්ට ලොකු තත්ත්වයක් තියනවා. ඔවුන් මට ඇවිල්ලා ලිපියක් භාර දුන්නා. අපි මෙහෙ ඇවිල්ලා පදිංචි වුණු කන්ද උඩරට දෙමළ පවුලක්. අපිට සලකන්නෙ නැහැ කියලා ඒ ලිපියේ තිබුණා. මම ඒ ලිපිය දුන්න කිලිනොච්චියෙ දිසාපතිතුමාට.

    දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක නෙමෙයි. රාජ්‍ය සේවකයෙකු වශයෙන් ඔබට කොයි වෙලාවකවත් ඔවුන්ගේ ආගම නිසා, ඔවුන්ගේ ජාතිය නිසා, කුලය නිසා ඔවුන්ට නොසලකා හරින්න බැහැ. මම හිතනවා ඔබ තමන්ගේ කාර්යභාරය, වගකීම නිසි ලෙස ඉටු කරයි කියලා. රාජ්‍ය සේවකයෙකුගේ වගකීම තමන් ළඟට කඳුළු පුරෝගෙන එන පුද්ගලයාගෙ ඇස්වල තියන කඳුළු පිහදාලා ඔවුන්ට සිනාසිසී යන්නට ඉඩ සැලැස්වීම. එය ඔබ කළ හැකියි. මොකද ඔබට වගකීමක් තියනවා එහෙම කරන්න.

    මමත් අවුරුදු ගණනක් උසාවිවලට යන එනකොට දැක්කා. මේ ඇතිවෙන යම් යම් ප‍්‍රශ්න හුඟක් විසඳන්න ඔබට පුළුවන්කම තියනවා. ඔබේ ප‍්‍රදේශයේ තියන ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන්. මොකද ඔබට සැලකිල්ලක් තියනවා. ඔබ ඒ සැලකිල්ල ගන්න  ඕන. ඒක නිකම්ම ලැබෙන්නෙ නැහැ. අවංක ව උපදෙස් දෙන්න පුළුවන්, ශක්තිමත් පුරුෂයෙක් බවට පත් වෙන්න. මේ තනතුරේ ගෞරවය රැකගන්න. නිකම්ම ලිපිකරුවෙක් නෙවෙයි ඔබ. ජනතාවත් එක්ක එකට ඉන්න. ජනතාවගේ හැම ගැටලුවකට ම, පර්මිට් එකක් ගන්න, ගහක් කපන්න, නීති දාන්න දාන්න ඒ හැම නීතියක ම කොටස්කරුවා ඔබ. ඉතින් ඔබට ඒ වගකීම තියනවා.

    අපි මතට තිත තියන්න කිව්ව. අද දුම්වැටිවල මිල වැඩි කරන්න, කරන්න භාවිතය පහත වැටිලා තියනවා. එක්කෙනෙක් අහනවා අද මේ අයවැයෙන් වැඩි ම වාසිය කාටද කියලා. එයා කියනවා සීනි මිල අඩු වුණා, අරක්කු මිල වැඩි වුණා. ඉතින් වැඩි ම වාසිය කසිප්පු කාරයට කියලා. ඉතින් මම කිව්වා අද තමුන්නාන්සෙලා ව හම්බවෙනවා. ඔබට ඒ වගකීම භාර දෙන්නම් කියලා වාසිය අවාසියක් කරන්න. දැන් මේකෙත් පොඩි ඇත්තකුත් තියනවා කියලා මට හිතුණා. ඒකයි මම එහෙම කිව්වෙ. මොකද ඔබ නොදැන මේ වැඩේ කරන්න බැහැ. මොකද ඔබ දන්නවා ගමේ හැම අස්සක් මුල්ලක් නෑරම. මේක තමයි ඇත්ත.

    මේ නිසා අපේ වගකීම, යුතුකම, අපෙන් විය යුතු සේවය ඉටු කරන්න  ඕන. ඒක ඔබේ යුතුකම කියලා හිතලා කටයුතු කරන්න. අපෙන් විය යුතු යුතුකම් රජයක් හැටියට ඔබේ සේවයට ලබා දෙන්න අපි සූදානම් වෙලා, කැපවෙලා ඉන්නවා කියන එක මම මතක් කරන්න  ඕන.

    අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වගේ ම ජාත්‍යන්තරයේ පුහුණුවීම්, අත්දැකීම් ඔබටත් ලබා දෙන්න රජය මැදිහත් වෙලා. ක‍්‍රමානුකූල ව ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන්න පියවර ගන්නවා කියන එක මතක් කරමින් ඔබට තෙරුවන් සරණ පතනවා.

    ඔබ සැමට සුබ අනාගතයක් !

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya