මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතාලි ශ‍්‍රී ලංකා ප‍්‍රජාව ජනපති මෙහෙවර අගයති

    ඔක්තෝබර් 04, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) ඉතාලියේ සහ වතිකානයේ චාරිකාවක් සඳහා ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉතාලි වේලාවෙන් ඊයේ (03) සවස රෝමයේ කැවලියරි (Cavalieri) හෝටලයේ ඇන්ජෙලෝ ශාලාවේ දී ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව හමු විය.


    රෝමයේ සහ ඉතාලියේ සෙසු නගරවල ජීවත් වන ශ‍්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ඇතැමුන් පැමිණ සිටියේ සිය භාර්යාවන් සහ දරුවන් ද කැටුව ය.

     


    රැස්වීම අවසන ජනාධිපතිතුමා සුහද කථාබහ සඳහා පිරිස අතරට ගිය විට, ඔවුහු එතුමා මව් රටට කර ඇති මෙහෙවර මහත් සේ අගය කරමින් පෞද්ගලිකවත් කණ්ඩායම් වශයෙනුත් කථා කළහ. රට ත‍්‍රස්තවාදයෙන් මුදා ගෙන සාමය හා ස්ථාවරත්වය උදා කොට සීග්‍ර ආර්ථික සංවර්ධනයක් අත්කර ගෙන තිබීම පිරිසගේ විශේෂ පැසසුමට ලක් විය. දැන් තමනට බියක් නැතිව කැමති වේලාවක මව්බිම වෙත පා තැබීමට අවස්ථාව උදා වී ඇතැයි ඇතැමෙක් සඳහන් කළහ.

     
    ඉතාලියේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාව ඇමතූ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, තමා බලයට පැමිණීමෙන් පසු, විශේෂයෙන් ත‍්‍රස්තවාදය ජය ගැනීමෙන් අනතුරුව රට අත් ගෙන ඇති ප‍්‍රගතිය මව්බිමෙන් බැහැරව වෙසෙන පිරිසට විස්තර කළේය. “දැන් බෝම්බවලින් කිසිවෙක් කිසි තැනක මරණයට පත් වන්නේ නැහැ. අධිවේගී මාර්ග එදා අපට සිහිනයක්. අද එය යථාර්ථයක්. අපි ළඟදීම මහනුවර සහ උතුරු අධිවේගී මාර්ග ඉදිකිරීම පටන් ගන්නවා. දැන් ගම්බද පාරවල් පවා කාපට් අතුරා නැත්නම් කොන්ක‍්‍රීට් දමා සකස් කර අවසන්. අද ජනගහනයෙන් 96%කට විදුලිය තිබෙනවා. ලබන වසර වන විට ඉතිරි 4%ටත් විදුලිය දෙන්න අපට පුළුවන්“ ජනාධිපතිතුමා පැවසීය.

     

    කොළඹ ඇතුළු සෙසු නගර දුගඳ නැති, කසල නැති, දැකුම්කළු ජනාවාස බවට පත් කර ඇතැයි කී රාජපක්‍ෂ මැතිතුමා, වසර 2016 වන විට කොළඹ සියලු පැල්පත්වාසීන්ට නව නිවාස ඉදිකර දෙන බව සඳහන් කළේය. “දැන් සංවර්ධනය ගමට ගිහින්. ගමේ පරිසරය නගරයට ඇවිත්. ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන ගමන ස්ථිරයි. පසුගිය දා ඉදිකිරීම් ආරම්භ කළ කොළඹ වරාය නගරය එහි තවත් කඩඉමක්. මේ සියලු ප‍්‍රගතිය දිනා ගත්තේ කෙටිකලක් ඇතුළත“ එතුමා පෙන්වා දුන්නේ ය.

     

    සතුරු බලවේග ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනා මානව හිමිකම් කවුන්සිලයට ගෙන එන විට ජිනීවා නුවරට ගොස් රටට සහය පළ කරමින් උද්ඝෝෂණය කළ ඉතාලියේ සහ සෙසු යුරෝපීය රටවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයනට ස්තුතිය පුද කළ ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා, ඔවුන්ගේ පහසුව උදෙසා රෝමයේ මහජන බැංකු ශාඛාවක් ස්ථාපනයට සැලසුම් කර ඇතැයි හෙළි කළේය. එසේම රටට වසරකට බිලියන ගණනින් ආදායම් උපයා දෙන ඔවුන් උදෙසා තීරු බදු රහිත වාහන ලබා දීමට ක‍්‍රියා කරන බව ද එතුමා පැවසීය.

     

    රැස්ව සිටි පිරිස සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන් කණ්ඩායම් සමග ඡායාරූපවලට පෙනී සිටියේ ය. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ යන මහත්වරු ද හමුව ඇමතූහ.

     

    සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න යන මහත්වරු ද රැස්වීමට එක් ව සිටියහ.


    HC/NP/IMU_Pix by: Sudath Silva

    President met the Sri Lankan community in Italy at Hotel Cavalieri in Rome 1

     

    President met the Sri Lankan community in Italy at Hotel Cavalieri in Rome 3

     

    President met the Sri Lankan community in Italy at Hotel Cavalieri in Rome a

     

    President met the Sri Lankan community in Italy at Hotel Cavalieri in Rome 2

     

    President met the Sri Lankan community in Italy at Hotel Cavalieri in Rome 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya