මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පාප්තුමා බැහැදකී : ශ‍්‍රී ලංකා චාරිකාවට නිල ඇරයුම පිළිගන්වයි

    ඔක්තෝබර් 03, 2014

    ඉතාලියේ සහ වතිකානයේ චාරිකාවක් සඳහා දැන් රෝමයට පැමිණ සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද (03) පෙරවරුවේ වතිකාන මාලිගයේ දී ශුද්ධෝත්තම පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදුටුවේ ය.

     

    මේ හමුවේ දී ජනාධිපතිතුමා ලබන වසරේ ජනවාරි මාසයට සැලසුම් කර ඇති පාප්තුමන්ගේ චාරිකාව සඳහා නිල ඇරයුම උන් වහන්සේ වෙත පිළිගැන්වීය.

     

    රෝමයේ වේලාවෙන් අද උදේ 10.30ට පමණ ශුද්ධාසන පරිශ‍්‍රය වෙත පැමිණි ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සහ ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මැතිනිය, වතිකානයේ ප‍්‍රධාන සන්ධාන නිලධාරී ජොසේ බෙතන්කෝට් (Jose Bettencourt) මැතිතුමා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය. වතිකානයේ සේවයේ නිරත, සාම්ප‍්‍රදායික වර්ණවත් නිල ඇඳුමෙන් සැරසුණු ස්විස් ආරක්‍ෂක බලඇණිය ජනාධිපතිතුමා වෙත ගෞරවාචාරයක් පිරිනැමීය. අනතුරු ව ජනාධිපතිතුමා, ආර්යාව සහ ශ‍්‍රී ලංකාදූත පිරිස අපෝස්තොලික මාලිගා අභ්‍යන්තරය වෙත කැඳවා ගෙන යනු ලැබූහ. ජනාධිපතිතුමා සහ පාප් වහන්සේ අතර හමුව අපෝස්තොලික මාලිගාවේ සභා මණ්ඩපයේ දී සිදු විය.

     

    ජනාධිපතිතුමා සහ පාප් වහන්සේ අතර අනතුරු ව ආරම්භ වූ සාකච්ඡා සුහද හා ළෙන්ගතු අයුරින් සිදු විය. ගැටුම් නිම වීමෙන් පසු අවතැන්වූවන් යළි පදිංචි කිරීම, හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කොට නැවත සමාජගත කිරීම, එල්ටීටීඊ ළමා සෙබළුන් මව්පියන්ට භාර දීම, බිම්බෝම්බ ඉවත් කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, සෞඛ්‍ය අධ්‍යාපනය හා විදුලිය සම්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම අතින් ශ‍්‍රී ලංකාව අත් කර ගෙන ඇති ප‍්‍රගතිය ජනාධිපතිතුමා පාප් වහන්සේට විස්තර කළේය.

     

    “අපි රටට සාමය උදා කොට රට කඩිනම් ආර්ථික සංවර්ධන මගකට යොමු කළා. ජාතික සමගි සන්ධානය සඳහා විධිමත් පියවර ගත්තා. ත‍්‍රස්තවාදී ග‍්‍රහණයට හසුව බිඳ වැටී තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යූහයන් ප‍්‍රතිෂ්ඨාපනය ආරම්භ කළා. උතුරු පළාත් සභා මැතිවරණය ඊට නිදසුනක්”, රාජපක්‍ෂ මැතිතුමා පෙන්වා දුන්නේ ය. ඇතැම් පිරිස් දුර්මත ප‍්‍රචාරය කළ ද ශ‍්‍රී ලංකාවේ සියලු ආගමික කොටස් අතර සුහදතාව හා සංහිඳියාව පවතින බව ද එතුමා කීය.

     

    ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කර දීම පිළිබඳව ජනාධිපතිතුමාට ස්තුතිය පළ කළ පාප් වහන්සේ, ශ‍්‍රී ලංකාවට පැමිණීමට මහත්  ඕනෑකමකින් පසුවන බව ද සඳහන් කළහ. පාප් වහන්සේගේ ශ‍්‍රී ලංකා චාරිකාව පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදී.

     

    පාප්තුමන් සමග හමුවෙන් පසු ජනාධිපතිතුමා ශුද්ධාසනයේ රාජ්‍ය ලේකම් සහ අගමැති අතිඋතුම් පියෙත්ත්‍රෝ පැරොලින් කාදිනල්තුමා හමු වී කෙටි පිළිසඳර කථාබහක නිරත විය.

     

    ජනාධිපතිතුමා අද පස්වරුවේ එරට වෙසෙන ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාව හමු වීමට ද නියමිත ව තිබේ.

     

    අග විනිසුරු මොහාන් පීරිස්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ‍්‍රිත තිසේරා, විදේශ නියෝජ්‍ය අමාත්‍ය නියොමාල් පෙරේරා, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඇන්තනි වික්ටර් පෙරේරා, විදේශ අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන, විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග යන මහත්වරු ද, විදේශ අමාත්‍යංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතා ද ජනාධිපතිතුමා සමග මේ අස්ථාවට එක් ව සිටියහ.

     

    HC/IMU/NP_Pix by : Sudath Silva

    President meets His Holiness Pope Francis 1 a

     

    President meets His Holiness Pope Francis 1 b

     

    President meets His Holiness Pope Francis 1 c

     

    President meets His Holiness Pope Francis 1 d

     

    President meets His Holiness Pope Francis 1 e

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya