අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති යළි මව්බිමට පැමිණෙයි

    සැප්තැම්බර් 29, 2014

    සිය අමෙරිකානු සංචාරය සාර්ථක ව අවසන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (29) උදෑසන දිවයිනට පැමිණියේය.


    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වැනි සැසි වාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිතුමා පසුගිය 21 වැනි දින අමෙරිකාවේ නිව් යෝක් නුවර බලා පිටත් ව ගියේය.


    නිව් යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පැවැත්වණු 2014 එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව 23 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අමතන ලදී. දියුණු වෙමින් පවතින රටවලට, වර්තමානයේ පවතින අරමුදල්වලට ප්‍රවේශයක් ඇති කිරීම සඳහා වැඩිදියුණු කළ විධිවිධාන ඇති කළ යුතු යයි, පොදුරාජ්‍ය මණ්ඩලය ඉල්ලා සිටින බව එම සමුළුවේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේය.


    23 වැනිදා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ක්ලින්ටන් ගෝලීය මුල් පිරීමේ වාර්ෂික රැස්වීමට එක්විය. දැඩි තර්ජනයකට ලක් වී ඇති අප්‍රිකානු අලින් ඇතුළු ව, අලි සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක අලි ඇතුන් සඳහා වන ක්‍රියාකාරී ජාලයට ශ්‍රී ලංකාවේ සහයෝගය දැක්වීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ක්ලින්ටන් ගෝලීය මුල් පිරීමේ 2014 වාර්ෂික රැස්වීමේ දී එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා එක් ව සිටියේය.


    24  වැනිදා පස්වරුවේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක්ම පැවැත්විණි. එහිදී නේපාල අගමැති සුෂිල් කොයිරාල (Sushil Koirala) මැතිතුමා, කොලොම්බියානු ජනාධිපති ජුවාන් මැනුවෙල් සැන්ටෝස් කැල්ඩ්රොන් (Juan Manuel Santos Calderon) මැතිතුමා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා ද, ජනාධිපතිතුමා හමුවූහ.


    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69වන නිත්‍ය සැසිවාරයට අමතර ව ක්ලින්ටන් ගෝලීය ප්‍රවේශය (Clinton Global Initiative) සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ රැස්වීමක් මෙන් ම තවත් ප්‍රධාන ජාත්‍යන්තර උත්සව අවස්ථා කිහිපයකට ද ජනාධිපතිතුමා සහභාගී විය.


    පසුගිය 25දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වැනි සැසිවාරය අමතනු ලැබූ ජනාධිපතිතුමා මානව හිමිකම් පිළිබඳ නැඟෙන චෝදනාවලට දැඩි පිළිතුරක් දෙමින් පැවැත් වූ දේශනය, දෙස් විදෙස් නායකයන්ගේ ඇගයීමට ද ලක් විය.


    එහිදී ජනාධිපතිතුමා පැවසුවේ "ශ්‍රී ලංකාව නැවත ඉදිකිරීම, පුනරුත්ථාපනය, සහ ප්‍රතිසන්ධානය යන ක්ෂේත්‍රවල අවුරුදු 5ක් වැනි කෙටි කාලයක දී ලබා ඇති ප්‍රමාණවත් ප්‍රගතිය පිළිබඳ ව නොසලකා හැර, මානව හිමිකම් කවුන්සිලයේ ටික දෙනෙකුගේ දුෂ්ට සංකල්පිත න්‍යායපත්‍රයක අගතියට ලක් වූවෙකු බවට පශ්චාත්- යුද ශ්‍රී ලංකාව පත් වී ඇත. මෙම සුවිශේෂී ජයග්‍රහණ නොසලකා හැර, මගේ රට ඉලක්ක කර ඇති ආකාරය සමබරතාව සහ සමානුපාතය නොමැති බව පෙන්වයි. වෙනත් ප්‍රදේශවල මානුෂීය ගැටලු පිළිබඳව සහ දැඩි කැළඹිලි සහිත ප්‍රදේශවලට විසඳුම් සෙවීම මෙයට වඩා බොහෝ වෙනස්කම් පෙන්වන බවය" .


    නිව් යෝක්හි ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් අමීන් මදනි මහතා (Iyad Ameen Madani) ද 25 වැනි දා උදෑසන නිව් යෝක් නගරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය. “අප ශ්‍රී ලංකාව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයට පිටස්තර රටක් ලෙස නොසලකමු”, “අප එය ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය තුළ තිබෙන රටක් ලෙස සලකනු ලබනවා” යැයි මදනි මහතා එහි දී ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට පැවසුවේය. “මම මුස්ලිම් ප්‍රජාව මාගේ සහෝදරයන් ලෙස රැකබලා ගනිමි”යි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     

    එදින ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යාව ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය, ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා මැතිතුමා හා ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා මැතිනිය විසින් පවත්වනු ලැබූ පිළිගැනීමේ සාදයට ද සහභාගී වූහ.
     

    25 වැනිදා පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මෝල්ටා අගමැති ජෝසෆ් මස්කට් (Joseph Muscat) මැතිතුමා සාකච්ඡා පැවැත්වූහ.


    26 වැනි දා ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ශ්‍රී ලංකාව විසින් නිල වශයෙන් පලස්තීනය වෙත ලබා දීම පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් (Mahmoud Abbas) හමු වූ අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු විය.


    සැප්තැම්බර් 26 වැනිදා උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් (Tony Abbott) මැතිතුමා නිව් යෝක් නුවරදී හමුවී සාකච්ඡා පැවැත්වූහ.


    එදිනම නිව් යෝක්හි දී  අන්තර්ජාතික අවබෝධතාව සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් දැනුවත් කිරීමේ හමුවක් පැවැත්වීය. එය අමතමින් “රටට ඇතුළුවන සමාගම් සඳහා ශ්‍රී ලංකාවට පිරිනැමිය හැකි හොඳම ප්‍රතිලාභය රටේ “සාමය සහ ස්ථාවරත්වය” බව පැවසූ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා, ඉහළ නිපුණත්වයකින් යුතු ශ්‍රම බලකායක් පිරිනැමීමේ හැකියාවක් රටට ඇති බව ද පැවසීය.


    සැප්තැම්බර් 27 වැනිදා උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා, නිව් යෝක් නුවර දී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වූ අතර දෙරට අතර සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා කිරීමට එකඟ වූහ. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයේ දී (UNHRC), ඉන්දියාවේ සහය සහ ඵලදායී පියවර පිළිබඳ ව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදී මැතිතුමාට සිය ස්තුතිය එහිදී පළ කර සිටියේය.


    "අප එකට ජීවත්විය යුතුයි. එම නිසා අප එකිනෙකාට උදව් කළ යුතු වෙනවා," පිළිතුරු දක්වමින් අග්‍රාමාත්‍ය මෝදී මැතිතුමා පැවසීය.


    එදිනම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී-මූන් මහතා නිව් යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සාකච්ඡාවක් සඳහා හමු වූහ. නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගේ පෙර සංචාරයට පසු සිදු වී ඇති සංවර්ධනය ඇගයීමට ලක් කරන ලෙස ජනාධිපති රාජපක්ෂ මැතිතුමා බෑන් මහතාට ආරාධනා කළේය.


    කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා සහ කටාර් රාජ්‍යයේ ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි එමීර්වරයා ද මේ සංචාරයේ ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා පැවැත්විය.

     

    මෙම අවස්ථාවලට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ජලසම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ඒ.එච්.එම්. අස්වර්, නෙරංජන් වික්‍රමසිංහ, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න, සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ටී.ආර්.සී. රුබේරු, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීහු ද එක් ව සිටියහ.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya